BLANTERORBITv101

කාදිනල් ධුරය සහ බැසිලිකා දෙව්විමන්

මුල්යුගයේ බැසිලිකා සම්ප්‍රදාය පැවතුනේ රෝමයේ රාජ්‍යය ශාලාවන් හැදින්වීම සදහාය. 4 වන සියවසේ දී කිතුනුවන් හට දානය කරන ලද නිදහසත් සමග දේවවන්දනා වත්පිළිවෙත් බැසිලිකා දේවස්ථාන වල ඉදිකරන්නට වූ බව කියැවේ. පසුකාලීනව රෝම අධිරාජ්‍යය එනම් බටහිර අධිරාජ්‍යය බිදවැටීමෙන් පසුව බටහිර රෝම අධිරාජ්‍යයේ පාලන ත්‍රන්ත්‍රය සභාවට හිමිවීමෙන් පසුව රෝම පාලනයේ භාරකරු ලෙස ශුද්ධෝත්තම පියතුමා විසින් බැසිලිකා යන නාමය එතෙක් පටන් දායාද කරන ලද්දේ සුවිශාල සහ වැදගත් කමකින් යුතු දේවස්ථාන හැදින්වීම පිණිසය. ඒ අනුව 7 වන සියවසෙන් පසුව මෙම සම්ප්‍රදායය සභාවට එක් වූ බව පිළිගැනේ. මේ කාලයේදී ම සභාවට එක්වූ සම්ප්‍රදායකි කාදිනල්ධුරය. කාදිනල්වරු යනු විශ්ව කතෝලික සභාවේ ලෞකික හා අධ්‍යාත්මික පරිපාලනය සඳහා ශුද්ධෝත්තම පියතුමාට සහාය වන "පුරෝහිත" පිරිසය. එම තනතුර ජේසුස් වහන්සේ විසින් ස්‌ථාපිත කරන ලද්දක්‌ නොවේ. පසු කලක ශුද්ධෝත්තම පියවරු විසින් පරිපාලන පහසුව සඳහා ඇති කරගත් තනතුරකි. කාදිනල් තනතුර රදගුරු තනතුරට වඩා ඉහළය. ඇඳුමෙන්ද පැළඳුමෙන්ද වෙනස්‌ය. කාදිනල් පළඳනාව රතු වර්ණ වේ. රතු හිස්‌ වැස්‌ම හා මුදුව තනතුරේ බාහිර සළකුණු වේ. කාදිනල් යන යෙදුමේ මූලාරම්භය පිළිබඳව මතභේද පවතී. කාදිනාලිස් යන වචනය එන්නේ කාඩෝ යන වචනයෙනි.cardo හෙවත් hinge යන්නෙහි අරුත වන්නේ සරනේරුව වේ. කාදිනල්වරු පත්කරන්නේ ශුද්ධෝත්තම පියතුමාගේ අභිමතය පරිදි වන අතර , එතුමන්ලා ශුද්ධෝත්තම පියතුමාගේ ආසන්නතම උපදේශකයන් මෙන්ම අභිනව ශුද්ධෝත්තම පියතුමකු තෝරා ගනු ලබන පිරිසට ද අයත් වෙති. ඔහු මුලින් පැවිදි වී නොසිටි අතර, රෝමයේ කාදිනල්වරුන් ලෙස හැඳින්වූයේ 6 වන සියවස ආරම්භයේ සිට රෝමයේ ප්‍රධාන   කලාප හතේ උපස්ථායකයන් වූ අතර, එම වචනයේ තේරුම “ප්‍රධාන”, “විශිෂ්ඨ” හෝ “උසස්” යන්න වේ. ඒ අනුව රෝමයේ  ප්‍රධාන දේවස්ථාන හතේ රදගුරුවරුන් හට මෙම නම ලබා දී ඇත.

ක්‍රි.ව. 769දී නිකුත් කරන ලද සාසන නියෝගයකින් රෝමයේ රදගුරු පදවිය එනම් ශුද්ධෝත්තම පියතුමා වීමට සුදුසුකම් ලැබුවේ කාර්දිනල්වරයකු පමණි. ක්‍රි.ව. 1244 දී හතරවන ඉනසන්ට් පාප්තුමා විසින් රතු තොප්පිය  පැළඳීමේ වරප්‍රසාදය කාදිනල්වරුන්ට ලබා දෙන ලදී. පසුකාලීනව මෙම තනතුර සදහා ශු. සභාවේ රාජකුමාරයා යන අරුතද එක් කරන ලදී. ඊට හේතුකාරකය වුයේ ඉහත සදහන් කරන ලද රෝමයේ රදගුරු පදවිය එනම් ශුද්ධෝත්තම පියතුමා වීමට සුදුසුකම ඔවුන් වෙත බලපවත්වා තිබීම නිසාවෙනි. රෝමය හැර වෙනත් නගරවල, කාදිනල් යන නාමය   ගෞරවයේ සලකුණක් ලෙස යොදා ගැනීමට පටන් ගත් අතර, මෙයට කදිම උදාහරණය වන්නේ ක්‍රි.ව. 747 දී සෙකරියාස් ශුද්ධෝත්තම පියතුමා විසින් ෆ්‍රෑන්ක්වරුන්ගේ පාලකයා වූ 3 වන පිපින් III රජු වෙත යවන ලද කෙටි ලිපියකට අනුව ය. එහි දී ශුද්ධෝත්තම පියතුමා විසින් පැරිසියේ පූජකවරුන්ට රටේ සෙසු ප්‍රදේශ වල පූජකයන්ගෙන් වෙන් කොට හඳුනා ගැනීම සඳහා මෙම වචනය යොදා ගත් බව සදහන් වේ. කාදිනල් යන  වචනය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වූ අතර 9 වන සියවසේ සිට විවිධ නගරවල පූජකවරුන් අතර විශේෂ පංතියක් කාදිනල්වරුන් ලෙස හදුන්වන්නට වූ බව සදහන් වේ. නුතන ව්‍යවහාරයෙන් සහ ධුරාවලියෙන් පවතින කාදිනල්ධුරය ක්‍රි.ව. 1567 දී රෝමයේ කාදිනල්වරුන් සඳහා පමණක් වෙන් කරන ලද්දේ 5 වන පියුස් ශුද්ධෝත්තම පියතුමා විසිනි. 

ක්‍රි.ව. 1563 දී හතරවන පියුස් ශුද්ධෝත්තම පියතුමාගේ නායකත්වයෙන් යුත් ත්‍රිදෙන්තිනු මන්ත්‍රණ සභාව තුළ කාදිනල්වරුන් තෝරා ගැනීමේ වැදගත්කම පවසා සිටින ලදී. ඇතැම් කාලවකවානු වල තාවකාලික පාලකයන්ගේ, විශේෂයෙන් ප්‍රංශ රජවරුන්ගේ පෙර බලපෑම, ඇතැම් ජාතික රාජ්‍යයන් තුළ  කාදිනල්වරුන්ගේ දායකත්වය දේශපාලනික වශයෙන් වැදගත් විය. යටත්  විජිතකරණ මුල් කාලයේ ලතින් ඇමරිකාන ප්‍රදේශ වල නායකත්වය පවරා දෙන ලද්දේ කාදිනල් වරුන්ට බව කියැවේ. විශේෂයෙන්  මෙම සම්ප්‍රදාය ඔස්ට්‍රියාව, ස්පාඤඤය , පෘතුගාලය  සහ ප්‍රංශය ඇතුළු ඇතැම් රාජාණ්ඩුවලට ඔවුන්ගේ විශ්වාසදායක ලේඛන විෂයයන්ගෙන් එකක් කාදිනල් නමින් ද  යටත් විජිත කරණ ක්‍රියාදාමය තුළ ඇතැම් විට ශුද්ධාසනයේ නියෝජිතයා වශයෙන් ද ඔවුන් ක්‍රියාකරන ලදී.  මේ නිසාම "ඔටුන්න හිමි කාදිනල්" ලෙස නම් කිරීම සඳහා නම් කිරීමට පවා ඇතැම් රජවරුන්ගේ නිර්දේශ මත ශුද්ධාසනයට නිර්දේශ කරන ලද බව සදහන් වේ.

වර්තමාන සභාව තුළ කාදිනල්වරු වර්ග 04 කට අයත් වෙති.

1/ තේවාචාර්යය කාදිනල් - මෙතුමන්ලා මුල් කාලයේ සිට රෝම පදවියේ දිසා හතේ දුප්පතුන් හට සේවය කළ අය වූ අතර වර්තමානයේ රෝම ක්‍යුරියාවේ කටයුතු කිරීම සදහා නාමධාරීතුමන්ලා ලෙස ක්‍රියාකරති. 

2/ පූජක කාදිනල් - මෙතුමන්ලා පෙර කල රෝමයේ ප්‍රධාන මීසම් වල සේවය කළ ද දැන් එම තත්ත්වය වෙනස් වී රෝමයෙන් පිට පදවි වල සේවය කරන රදගුරුතුමන්ලා ලෙස පත් කර ඇත.

3/ රදගුරු කාදිනල් - පුරාතනයේ රෝමය ආසන්න පදවි වල මෙතුමන්ලා සේවය කළ අතර වර්තමානයේ මෙතුමන්ලා පූර්ණ පූර්ණකාලීනව රෝම ක්‍යුරියාවේ සේවය කරති.

4/ පත්‍රියාක් කාදිනල්වරු - මෙතුමන්ලා පැරණි ජන වන්දනා ක්‍රම සහිත ,  සභාවේ අපෝස්තලික සම්ප්‍රදායන් සහ මූලාරම්භයන් පවතින ස්ථානවල ප්‍රධානීන් ලෙස කටයුතු කරති. 

සියලුම කාදිනල්තුමන්ලා ඊට පෙර රදගුරුවරුන් ව සිටිය යුතු බව 1962 වසරේදී xxiii වන ජුවාම් ශුද්ධෝත්තම පියතුමන් විසින් නීතිගත කරන්නට වූ අතර, දෙවන ජුවාම් පාවුළු ශුද්ධෝත්තම පියතුමාණන්ගේ පාලන සමයේදී දේව ධාර්මික පූජාප්‍රසාදිවරු කිහිප දෙනෙකුට ගෞරව කිරීමක් ලෙස එතුමන්ලා ව කාදිනල් ධුරයට ඔසවනු ලැබීය. අතීතයේ දී ශුද්ධෝත්තම පියතුමන්ලා තම කාර්යාලයේ සේවය කළ ලේකම් ආදී තනතුරු දැරූ තම ඥාතීන් ද කාදිනල්වරුන් ලෙස පත්කළ අතර එම කාදිනල් වරු Cardinal Nephew ලෙස හැඳින්විණි. මෙම තත්ත්වය තුන්වන පාවුළු ශුද්ධෝත්තම පියතුමාගේ සිට දාහත්වන සියවස දක්වා පැවති අතර හත්වන  ඉනසන්ට් පාප්තුමා විසින් මෙම සම්ප්‍රදාය අහෝසි කරන ලදී. මධ්‍යතන යුගයේදී  එනම් බටහිර රෝම අධිරාජ්‍යය බිඳ වැටීමෙන් පසුව බටහිර රෝම අධිරාජ්‍යයේ නායකත්වයට පත්වූ ශුද්ධෝත්තම පියතුමා යටතේ රදගුරුතුමන්ලාගේ බලය වැඩි වර්ධනය වූ අතර  එම කාලයේ දී ප්‍රධාන රදගුරුතුමන්ලා වූ කාදිනල්තුමන්ලා තම වාසස්ථාන මාළිගා , බඳු වූ බැසිලිකා දෙව් විමන් පවරා දෙන ලදී. සෙසු ප්‍රදේශවල රදගුරුතුමන්ලා හට තමන්ගේ පාලන දේවස්ථානය ලෙස ආසන දෙව්මැදුරු සම්ප්‍රදාය ආරම්භ විය. විශේෂයෙන් ආසන දෙව්මැදුරු සම්ප්‍රදාය ආරම්භ වූයේ ප්‍රංශ රාජ්‍ය තුළ මහා චාලිමේන් අධිරාජ්‍යයේ අධිරාජ්‍යයාගේ සුවිශේෂී දායකත්වය යටතේ ය. ඒ අනුව වතිකාන රාජ්‍යයේ උරුමකරුවන් රාජකුමාර හෙවත් කාදිනල්ධුරය හොබවන අයට බැසිලිකා දෙව්විමනක් පිරිනැමේ. ලක්දිව පළමු කාදිනල් හිමිපාණන් වන දේවසේවක නිර්මල මරිය නිකායික අති උතුම් තෝමස් බෙන්ජමින් කාදිනල් කුරේ හිමිපාණන් හට රෝමයේ Santi Nereo e Achilleo බැසිලිකාවේ භාරකාරත්වයද , වත්මන් කොළඹ අගරදගුරු අති උතුම් පටබැඳිගේ දොන් ඇල්බට් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හට රෝමයේ San Lorenzo in Lucina බැසිලිකාවේ භාරකාරත්වය හොබවයි. තවද මධ්‍යතන යුගයේ දී මුදුව, මකුටය, එඩේරික යෂ්ටිය, නිල අසුන වැනි .... රාජකීය බවේ සලකුණු ලෙස එක් වන්නට විය. මේවායින් සමහරක් පුරාණ ගිවිසුමට සම්බන්ධ වන අතර සෙසු බොහෝ සම්ප්‍රදායන් එක් වන්නට වුයේ මධ්‍යතන යුගයේ දී බව කිවයුතුමය. 1950 ට පෙර ඉතා වටිනා සළුපිළි අභරණින් සැරසී රෝම රාජ කුමාර ලීලාවෙන් ජීවත් වූ කාදිනල් සම්ප්‍රදායක්‌ විය. 12 වන පියුස්‌ ශුද්ධෝත්තම පියතුමා (1953 දී ) ඒ කුමාර සිරිත් ඉවත් කර දැම්මේය. ආසියා, අප්‍රිකා හා ලතින් ඇමරිකානු රටවලින් කාදිනල්වරු බහුල වීම ඊට හේතු විය. ඇඳුම් චාම් විය. ශීලධාර්මික සහ දේවධාර්මික  තීන්දු සහ තීරණ  ගැනීමේදී ශුද්ධෝත්තම පියතුමාට  නොවරදින සුළු බවක්‌ ඇත. එම තීන්දු තීරණ සහ ශුද්ධෝත්තම පියතුමා මුළු ලෝකයටම බලපාන තීන්දු ගැනීමේදී කාදිනල්වරුන්ගේ මතද විමසා බැලේ. 

සටහන - අසේල දසනායක