මත්පැන් පානය කරන පුද්ගලයෙකුව දුටු විට, "එම පුද්ගලයා පව්කාරයෙකැ"යි ඉතා වැරදි සහගත ලෙස බොහෝ කතෝලිකයන් විසින් විනිශ්චය කරනු ලබති.එවැනි කතෝලිකයෝ ජේසුස් වහන්සේගේ සමගේ වාසය කළා නම් ඔහුන් ජේසුස් වහන්සේවද, "බේබද්දෙකැ"යි හංවඩු ගසනු නොඅනුමානය. මක්නිසාදයත් එදා ජේසුස් වහන්සේද මත්පැන් පානය කරන බව දුටු ඇතැම් මිනිස්සුන් උන්වහන්සේටද බේබද්දෙකු යැයි චෝදනා කළෝය: මනුෂ්‍ය-පුත්‍රයාණෝ කමින් බොමින් ආ සේක; 'බලන්න, ඔහු කෑදරයෙකි, බේබද්දෙකි, අයකැමියන්ගේත්, පව්කාරයන්ගේත් යහළුවෙකි'යි ඔබ කියන්නහුය - ( ශු.ලූක් 07:34 ).
මිදියුස යනු නෝවාගේ සිට ජේසුස් වහන්සේගේ කාලය දක්වාම බයිබලානුකුල සාහිත්‍යයේ දැකිය හැකි වඩාත් සුලභතම මධ්‍යසාර පානයකි.ජලය යොදා තනුක කළද එහි ඇල්කොහොල් සාන්ද්‍රණය ඇතැම් බීර වර්ග වලට වඩා වැඩිය.ජේසුස් වහන්සේද තමන් වහන්සේගේ ප්‍රථම ප්රාතිහාර්ය ලෙස සිදු කළේ කානා නුවර විවාහ මංගලෝත්සවයේ වතුර වයින් බවට හැරවීමේ ප්‍රාතිහාර්යයි - ( ශු.ජොහාන් 02:01-12 ).ජේසුස් වහන්සේ විසින් මිදියුස බවට හැරවූ ජලය පානය කළ අමුත්තන් පැවසුවේ එය හොඳම මිදියුස බවයි.එනම්, සාන්ද්‍රණයෙන් ඉහළ මත්පැන් බවයි.එසේම ජේසුස් වහන්සේද මෙම මධ්‍යසාරීය පානය භාවිත කළ අයෙකි: මාගේ පියාණන්ගේ රාජ්‍යයෙහි දි මා ඔබ සමඟ අලුත් මිදියුස පානය කරන දවස එනතුරු මෙතැන් පටන් මේ මිදියුස තවත් නොබොන්නෙමියි ඔබට කියමි"යි වදාළ සේක.ඔව්හූ ගීතයක් ගයා නිමකොට ඔලීව කන්දට නික්ම ගියහ - ( ශු.මතෙව් 26:29-30 ).මේවා මත්පැන් පානය කිරීම පාපයක් නොවන බව සනාථ වන ප්‍රමුඛතම සාක්ෂි වේ.මත්පැන් දෙවියන් වහන්සේ විසින් මවා ඇත්තේ මනුෂ්‍යයාගේ සතුට පිනිසය.එලෙසම මත්පැන් පානය කරමින් සතුටු වීම දෙවියන් වහන්සේගේ දෑස් ඉදිරියේ ඉතා ප්‍රසන්න දෙයකි.විටෙක ඉන් ලැබෙන සෞඛ්‍ය ප්රතිලාභ ගැන පවා ශු.පාවුලු තුමා උදම් අනයි;
තවද, මිනිසාගේ හද සතුටු කරන මිදියුසද වත පැහැපත් කරන තෙලද ගත සවිමත් කරන අහරද සපයන සේක - ( ගීතාවලිය 104:15 ).
ඔබ ගොස් ප්‍රීතියෙන් ඔබේ කෑම කා, තෘප්තිමත් සිතින් ඔබේ මුද්‍රික පානය බොන්න.මන්ද, දෙවියන් වහන්සේ ඔබේ කටයුතු ගැන සතුට ප්‍රකාශ කර ඇත - ( ධර්මදේශකයා 09:07 ).
අප කළ යුත්තේ, අප උපයා ගත් දෙයින් කා බී ප්‍රීති වීමය; එය දෙවියන් වහන්සේගේ දීමනාවකි - ( ධර්මදේශකයා 03:13 ).
ඉන්පසු ඒ මුදල වැය කොට ඔබ කැමති පරිදි ඕනෑම දෙයක් එනම්, ගවයන් හෝ බැටළුවන් හෝ මිදියුස හෝ මත්පැන් හෝ ඔබ කැමති දෙයක් ගෙන දෙවි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඔබද ඔබේ ගෙවැසියන්ද ඒවා අනුභව කර ප්‍රීති ප්‍රමෝද විය යුතුය - ( ද්විතීය නීති සංග්‍රහය 14:26 ).
වතුර පමණක් නොබී, කෑම දිරවීම පිණිසත්, නිතර ඇතිවන අසනීප ගතිය නිසාත්, මිදියුස ටිකක් භාවිත කරන්න - ( 01 තිමොති 05:23 ).
මත්පැන් භාවිතය සම්බන්ධයෙන් දේව ධාර්මික අර්ථය ගත් කළද මත්පැන් භාවිතය පාපයක් නොවන බව තහවුරු කරයි."සුම්මා තියලොජිකා" ග්රන්ථයේදී ( (Summa Theologica, II-II, Q. 149, A. 3) මහා දේවධර්මවේදී ශු.තෝමස් ඇක්වයිනාස් මුනිතුමා පවසන ආකාරයට ශු.මතෙව් 15:11 ට අනුව කිතුනුවන්ට මාංශික හෝ පානීය හෝ කිසිදු ආහාරයක් තහනම් නොවේ.මක්නිසාදයත්: මිනිසා කෙලෙසනු ලැබීමට හේතුවන්නේ කටට ඇතුළු වන දේ නොව, කටින් නික්මෙන දේ ය"යි වදාළ සේක - ( ශු.මතෙව් 15:11 ).මත්පැන් වලටද මෙය අදාළය;
උන් වහන්සේ පිළිතුරු දෙමින්, ”ඔබත් වෙන අය සේ ම අවබෝධයක් නැති ව සිටින්නහු ද? පිටතින් මිනිසා තුළට පිවිසෙන කවර දෙයක් වත්, ඔහුගේ උදරයට මිස හෘදයට ඇතුළු නොවී පහ ව යන බැවින්, ඔහු කෙලෙසන්නට අපොහොසත් බව ඔබට තේරෙන්නේ නැද්දැ”යි ඇසූ සේක.මෙසේ කීමෙන් උන් වහන්සේ සියලු ආහාර වර්ග පවිත්‍ර බව ප්‍රකාශ කළ සේක. තවදුරටත් උන් වහන්සේ කතා කරමින්, ”එහෙත්, මිනිසා කෙලෙසනු ලබන්නේ ඔහු තුළින් නිකුත් වන දෙයින් ම ය.ඇතුළතින්, එනම්, මිනිස් හදවතින්, නපුරු චේතනා, කාම රාග, සොරකම්, මිනී මැරුම්, සල්ලාලකම්, තණ්හා, දුෂ්ටකම්, වංචා, හිරි ඔතප් නැති බව, ඊර්ෂ්‍යාව, අපහාසය, අහංකාරය සහ මෝහය නික්මෙයි.මෙකී සියලු නපුරු දේ ඇතුළතින් නික්ම ඒවායින් මිනිසා කෙලෙසනු ලැබේ ය”යි වදාළ සේක - ( ශු.මාක් 07:18-23 ).
කෙසේවෙතත් ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නෑය.එලෙසම පමණ ඉක්මවා මත්පැන් පානය කිරීමද, නොහික්මුණු ලෙස මත්පැන් වලට ඇබ්බැහි වීමද බරපතල පාපයක් බව මතක තබා ගත යුතුය.සීමාව ඉක්මවා යමින් මත්පැන් අසීමිත ලෙස භාවිත නොකළ යුතු බවට ශුද්ධවූ සභා මතාව විසින් අපට දැඩිව අවධාරණය කරන්නීය - ( කතෝලික සභා ධර්මෝපදේශය 2290 ).මත්පැන් අධිභාවිතය නිසා අප අතින් බරපත වැරදි සිදුවිය හැකිය;
පමණ දැන බොන්නේ නම්, මුද්‍රික පානය මනුෂ්‍යයා ප්‍රාණවත් කරන්නේය.මුද්‍රික පානය නොමැතිව මනුෂ්‍යයා ගත කරන ජීවිතය කුමක්ද? මනුෂ්‍යයන් සන්තෝෂ කිරීමට එය මවන ලද්දේය.සුදුසු වේලාවෙහිදි සුදුසු තරමට බීවොත් මුද්‍රික පානය ප්‍රීතිමත් හෘදයක්ද උද්යෝගිමත් සිතක්ද ඇති කරන්නේය.පමණ නොදැන හෝ තරහා ගතියෙන් හෝ ව්‍යාජ නිර්භීතකමින් හෝ බීවොත් ආත්මයේ මහත් දොම්නසක් ඇති වන්නේය.බීමත්කමින් අඥානයාගේ කෝපය තමාටම විනාශදායක වන ආකාරයකින් ප්‍රබෝධ වන්නේය.එයින් ඔහුගේ ශක්තිය හීනවී ගුටිබැට දීමට පොළඹවනු ලබන්නේය - ( උපදේශකයා හෙවත් සිරාක් 31:27-30 ).
දුක කාටද? කාලකණ්නිකම කාටද? අඬදබර කාටද? මැසිවිලි කාටද? නිකරුණේ තුවාල කාටද? රතු ඇස් කාටද? සුරා බෝතලය ළඟ පමාවන මිනිසාටය.තව තවත් මත්පැන් බොන්න යන මිනිසාටය - ( හිතෝපදේශය 23:29-30 ).
එසේම උපස්ථායකයන් සන්සුන්, දිව දෙකේ කතා නැති, පමණ ඉක්මවා මත්පැන් පානය නොකරන, අයුතු ලාභයට ලොල් නොවූ, ඇදහිල්ලේ අබිරහස පිරිසිදු හෘදය සාක්ෂියකින් දරන තැනැත්තන් විය යුතුය - ( 01 තිමොති 03:08-09 ).
මත්පැන් බීමට පාන්දරින්ම නැඟිටින, වෙරිමත්කමින් රෑ වනතුරු පමා වන ඔබට වන විපතක මහත! - ( යොසායා 05:11 ).
එසේම මත්පැන් අවභාවිතයද බරපත වරදක් බව ශුද්ධවූ සභා මාතාව අපට පෙන්වා දෙයි ( කතෝලික සභා ධර්මෝපදේශය 2291 ).තහනම් හෝ විශ මත්ද්‍රව්‍ය භාවිතය, බීමතින් රිය පැදවීම, බීමතින් දිය නෑමට යාම, අන්අයට බාධා වන ලෙස මත්පැන් පානය කිරීම, බීමතින් රාජකාරී කටයුතු වල යෙදීම, මත්පැන් සඳහා අනවශ්‍ය මුදලක් නාස්ති කිරීම ආදිය මත්පැන් අවභාවිතයට උදාහරණය.මේවා දෙවියන් වහන්සේට ඉතා පිළිකුල්ය;
භෝජන සංග්‍රහයකදී ඔබ ළඟ සිටින තැනැත්තා කුපිත නොකරවන්න.ඔහු ප්‍රමුදිතව සිටින විට ඔහුට සමච්චල් නොකරන්න; ඔහුට නින්දා වන ආකාරයෙන් කතා නොකරන්න.ඔබට ලැබෙන්නට තිබෙන මුදල් ඉල්ලමින් ඔහුට කරදර නොකරන්න... ඔබ කන කෑමක් නිසා ඔබේ සහෝදරයාට තද සිත් වේදනාවක් ඇති වේ නම්, ඔබේ හැසිරීම ප්‍රේමයෙන් තොරය.ඔහු උදෙසා ක්‍රිස්තුන් වහන්සේ දිවි පිදූ බැවින්, ඔබ කන දේ නිසා ඔහු විනාශ වීමට ඉඩ නොහරින්න - ( සිරාක් 31:31/රෝම 14:15 ).
"නුඹ සහ නුඹ සමඟ නුඹේ පුත්‍රයන් සම්මුඛ මණ්ඩපයට ඇතුළු වන විට මුද්‍රික පානය හෝ මත්පැන් හෝ පානය නොකරන්න.එසේ කළොත් නුඹ මැරෙන්නට පුළුවන.මෙය නුඹේ පෙළපත් තුළ සදටම වලංගු නියෝගයකි - ( ලෙවී ව්‍යවස්ථාව 10:09 )
ලෙමුවෙල්, මෙය අසන්න: රජුන්ට මද්‍යපානයද රජ කුමරුන්ට සුරා ලෝලයද නොහොබියි.සුරාමතින් වෙරිවී ඔව්හු සමහර විට නීතිය අමතක කරයි; පීඩිතයන්ගේ නඩු අවනඩු කරති - ( හිතෝපදේශය 31:04-05 ).
🕳️ 01 කොරෙන්ති 06:09-10 දක්වා හා ගලාති 05:21 දී ශුද්ධවූ පාවුළු තුමා පවසන්නේ බේබද්දන්ට හා සුරාධූර්තකයින්ට දෙවියන් වහන්සේගේ රාජ්‍යය උරුම නොවන බවයි.නමුත් හුදෙක් මත්පැන් පානය කරන අයට දෙවියන් වහන්සේගේ රාජ්‍යය උරුම නොවන බව එහි සඳහන් නොවේ.එසේම එපීස 05:18 දී එතුමා මුද්‍රික පානයෙන් වල්මත් නොවන ලෙසට පවසයි.එපීස 05:18 හිද එතුමා විරුද්ධ වී ඇත්තේ මුද්‍රික පානයට නොව, බීමත්කමටය.හුදෙක් මත්පැන් පානය කිරීම හෙළා දැකීමට පාවුලු තුමාට අවශ්‍ය වූයේ නම්, ඔහු එහිදී "බීමට" යන අර්ථය ඇති "pino" නැමැති ග්‍රීක වචනය එහිදී භාවිත කරනු ඇත.නමුත් ඒ වෙනුවට, ඔහු "methyskesthe" යන ග්‍රීක වචනය භාවිතා කරයි. එය "methusko" යන ක්‍රියා පදයෙහි ස්වරූපයක් වන අතර එහි අර්ථය “බීමත්ව සිටීම” යන්නයි.සුදුසු තැනදී සුදුසු ප්‍රමාණයට පමණක් මත්පැන් පානය කිරීම ඔබට හොඳ කතෝලිකයෙකු වීමට බාධාවක් නොවේ.මක්නිසාදයත්: කතෝලික සූර්යයා බැබළෙන ඕනෑම තැනක, සෑම විටම සිනහව හා හොඳ රතු වයින් ඇත.අවම වශයෙන් මම එය සෑමවිටම සොයාගෙන ඇත - ( හිලයර් බෙලෝක් ).
0 Comments