BLANTERORBITv101

සමලිංගිකත්වය පිළිබද කතෝලික සභා ඉගැන්වීම

                   

            සමලිංගික පුද්ගලයන්වද, අප සියල්ලන් මෙන් ශුද්ධවත් ජීවිතයකට දෙවියන් වහන්සේ ආරාධනා කරයි.එමෙන්ම සමලිංගිකත්වය ආබාධයක් බවත්(කසධ 2357), ආශාවන් තමන් තුළම තබාගැනීම පව්කාර නොවන බවත්, ඒවා ක්‍රියාත්මක කිරීම පැහැදිලිවම දෙවියන් වහන්සේට පිළිකුලක් බවත්, සමලිංගික ක්‍රියා පාපයන් ලෙස විනිශ්චය කිරීම සුදුසු බවත් කතෝලික සභාව උගන්වයි.නමුත් සමලිංගිකත්වයෙන් පෙළෙන පුද්ගලයන් “ගෞරවයෙන්, දයානුකම්පාවෙන් සහ සංවේදීව පිළිගත යුතුය".ඔවුන්ව පිළිකුලෙන් බැහැර කිරීමට වෙනුවට ශුද්ධවත් ජීවිතයක් කරා ඔවුන්ව ගෙන යාම කිතුණු අපගේ යුතුකමක් හා වගකීමක් වේ.(කසධ 2358)

කතෝලික සභාව සමලිංගික විවාහා ප්‍රතික්ෂේප කරන්නේ ඇයි ?

💠 ක්‍රිස්තියානි විවාහයක් ලෙස අර්ථ දක්වන්නේ පුරුෂයකු හා ස්ත්‍රීයක් අතර සිදුවන විවහා ගිවිස ගැනීමක් පමණයි.

පුරුෂයෙකු සහ ස්ත්‍රියක් තමන් අතර මුළු ජීවිතයේම හවුල්කාරිත්වයක් ඇති කර ගන්නා විවාහ ගිවිසුම, එහි ස්වභාවය අනුව එකිනෙකාගේ යහපත සහ දරුවන් බිහි කිරීම සහ ඔවුන්ගේ අධ්‍යාපනය සඳහා නියම කර ඇත.

(කසධ 1610)

💠 එමනිසා සමලිංගික ගිවිස ගැනීමක් කතෝලික ක්‍රිස්තියානි විවාහයේ අර්ථදැක්වීමටද පිටුපා යාමකි.එමගින් කිතුනු පවුලක මූලික අරමුණු නොසපිරේ.

💠 එමෙන්ම සමලිංගික විවාහා, දෙවියන් වහන්සේ විසින් නිර්මිත ස්වභාව ධර්මයද පරයා යන්නකි.මිනිසුන් ස්වභාවයෙන්ම නිර්මාණය වී ඇත්තේ ප්‍රජනනය මගින් වර්ගයා බෝවීමටයි.එමනිසා සමලිංගික විවහ ස්වභාවික නීතියටද පටහැනි වේ.

සමලිංගිකත්වය පිළිබද කතෝලික සභා ධර්මෝපදේශයේ සදහන

සමලිංගිකත්වය යනු පුරුශයන්ට හෝ ස්ත්‍රීන්ට තම පාර්ශවයේම පුද්ගලයෙකු කෙරෙහි ඇති ලිංගික ආකර්ශණය හෝ සබදතායි.ශතවර්ෂ ගණනාවක් පුරා සහ විවිධ සංස්කෘතීන් තුළ එය විවිධාකාර ස්වරූප ගෙන ඇත.එහි මනෝවිද්‍යාත්මක උත්පත්තිය බොහෝ දුරට පැහැදිලි කළ නොහැකි ය.සමලිංගික ක්‍රියා බරපතල දූෂ්‍ය ක්‍රියාවන් ලෙස ඉදිරිපත් කරන පූජනීය ලියවිල්ල මත පදනම්ව,සභා සම්ප්‍රදාය සෑම විටම ප්‍රකාශ කර ඇත්තේ "සමලිංගික ක්‍රියා සහජයෙන්ම අක්‍රමිකතා ඇති බවයි."ඒවා ස්වභාවික නීතියට පටහැනියි.

[කසධ 2357]

සමලිංගික පුද්ගලයන්ද ශුද්ධවන්තකමට කැඳවනු ඇත.ඔවුන්ට අභ්‍යන්තර නිදහස උගන්වන ස්වයං-ප්‍රවීණත්වයේ ගුණධර්ම මගින්,මිත්‍රත්වයේ සහයෝගයෙන්, යාච්ඤාවෙන් සහ සක්‍රමේන්තු තුළින් ක්‍රිස්තියානි පරිපූර්ණත්වයට ක්‍රමානුකූලව හා අධිෂ්ඨානශීලීව ළඟා විය හැකිය.

[කසධ 2357]

ශුද්ධ ලියවිල්ල තුළ සමලිංගික හැසිරීම ගැන සදහන

නුඹ ස්ත්‍රියක සමඟ සයනය කරන අයුරින් ම පිරිමියෙකු සමඟ ද නොහැසිරිය යුතු ය. මෙසේ කිරීම පිළිකුලකි.

ලෙවී ව්‍යවස්ථාව 18:22

[ජුදා නීතිය තුළ සමලිංගික හැසිරීම සැලකුවේ මරා දැමිය යුතු පාපයක් ලෙසයි]

යම් පුරුෂයෙකු ස්ත්‍රියක සමඟ සයනය කරන ලෙස ම පිරිමියෙකු සමඟ හැසුරුණොත්, ඔවුන් පිළිකුල් දෙයක් කරනු ඇත. ඔවුන් මරණයට පත් කළ යුතු ය. ඔවුන්ගේ මරණ ගැන ඔවුන් ම වගකිව යුතු ය.

ලෙවී ව්‍යවස්ථාව 20:13

[සාම්ප්‍රදායික ජුදෙව් හා ක්‍රිස්තියානි බයිබලීය අර්තකතනය අනුව සොදොම් හා ගොමෝරා විනාශයට හේතු වූ ප්‍රධාන හේතුවක් වූවේද සමලිංගික ක්‍රියාවන්‍ ය]

තවද සොදොම් හා ගොමොරා ද, අවට පිහිටි නගර ද සිහි කරන්න. එහි වැසියෝ ඒ දේව දූතයන් මෙන් ම අවකල්ක්‍රියා ද අස්වාභාවික දූෂ්‍යකම් ද කරමින් සදාතන ගින්නේ දඬුවම වින්දෝ ය. එය සියල්ලන්ට ම අනතුරු ඇඟවීමේ ලකුණකි.

ජූද් 1:7

අධර්මිෂ්ඨයන් දෙවියන් වහන්සේගේ රාජ්‍යය උරුම කරගන්නේ නැති බව ඔබ දන්නේ නැද් ද? නොරැවටෙන්න. අනාචාරකම් කරන්නෝ වත්, රූප වඳින්නෝ වත්, කාමමිථ්‍යාචාරිකයෝ වත්, සම ලිංගික සේවනයේ යෙදෙන්නෝ වත්, සොරුවත්, කොල්ලකන්නෝ වත්, ලෝබියෝ වත්, බේබද්දෝ වත්, නින්දා කරන්නෝ වත්, ගසා කන්නෝ වත්, දෙවියන් වහන්සේගේ රාජ්‍යය උරුම කර නොගන්නෝ ය.

1 කොරින්ති 6:9‭-‬10

[ජේසුස් වහන්සේ, විවාහය ගැන සදහන]

උන් වහන්සේ උත්තර දෙමින්, “පටන් ගැන්මේ සිට ම මැවුම්කාරයාණන් පිරිමි ගැහැණු වශයෙන් මනුෂ්‍ය වර්ගයා මැවූ බව ඔබ කියවා නැද් ද? ඒ නිසා මිනිසෙකු තම පියා ද මව ද අත්හැර සිය භාර්යාවට ඇලුම් වන බවත්, ඒ යුවල එක් කෙනෙකු වන බවත් දෙවියන් වහන්සේ වදාළ සේක. මෙසේ ඔව්හු එවක් පටන් දෙදෙනෙකු නොව එක් කෙනෙක් වෙති. එබැවින් දෙවියන් වහන්සේ එක් කළ අය මනුෂ්‍යයා වෙන් නොකෙරේ වා”යි වදාළ සේක.

ශුද්ධවර මතෙව් 19:4‭-‬6

සමලිංගික හැසිරීම් පිළිබද මුල් කිතුණු සභා ඉගැන්වීම

මිනීමැරුම් නොකළ යුතුය, කාමමිථ්‍යාචාරය නොකළ යුතුය, පරදාර සේවනය නොකළ යුතුය, වේශ්‍යාකම් නොකළ යුතුය, සොරකම් නොකළ යුතුය, මන්තර ගුරුකම් නොකළ යුතුය,ගබ්සාවෙන් හෝ දරුවකු ඝාතනය නොකළ යුතුය.

ඩිඩාකේ(2:2 [ක්‍රි.ව. 70])

සොදොම්හි සිදු වූවාක් මෙන් ස්වභාවධර්මයට එරෙහි නින්දිත ක්‍රියා සෑම තැනකම සහ සෑම විටම පිළිකුල් කර දඬුවම් කළ යුතුය.  සියලුම ජාතීන් එවැනි දේවල් කරන්නේ නම්, ඔවුන් එකිනෙකාව මේ ආකාරයෙන් භාවිතා කිරීමට මිනිසුන්ව සාදා නැති දෙවියන් වහන්සේගේ නීතිය මගින් ඔවුන් එම අපරාධයට වරදකරුවන් වනු ඇත

 (පාපොච්චාරණය-හිප්පෝහී අගුස්තීනු තුමන 3:8:15 [ක්‍රි.ව. 400])

සමලිංගික සාන්තුවරයන් ?

කිසිම සමලිංගිකව හැසිරුන පුද්ගලයෙක්ව කතෝලික සභාව විසින් නිළ වශයෙන් සාන්තුවරයට ඔසවා නැත.එමෙන්ම ඇතැම් කොටස් සමහර සාන්තුවරයන්ව සමලිංගික සාන්තුවරයන් ලෙස හදුන්වයි.සමලිංගික වීම සාන්තුවර භාවයට ප්‍රශ්නයක් නොවේ.සමලිංගිකව හැසිරීමයි දෙවියන් වහන්සේට එරෙහි ක්‍රියාවක් වීමෙන් පාපයක් වන්නේ.

එමෙන්ම මෑතක දී යූටියුබ් සමාජ මාධ්‍ය ජාලයේ කවියා නම් පුද්ගලයෙකු විසින්, සමලිංගික විවාහ පිළිබද කතෝලික සභා මතය විවේචනය කර තිබුනි.ඔහු ප්‍රධාන මත දෙකක් තුළින් අදහස් දක්වා තිබුනි.

1.ආගම් ලෝකයේ තියෙන්නේ මිනිස්සුන්ව එකතු කරන්න නම් ක්‍රිස්තියානි දහමෙන් කරන්නේ මිනිස්සුන්ද බේද කිරීමද ?

⚫ අනෙක් ආගම් කෙසේවෙතත් ක්‍රිස්තියානි දහමේ අරමුණ සියලු ජනයාව ස්වර්ග රාජ්‍ය කරා ගෙන යාමයි.ලෞකික ඒකත්වය යනු අතුරු දෙයක් මිසක් ක්‍රිස්තියානි ප්‍රධාන අරමුණ නොවේ.ඒකෙන් අදහස් වෙන්නෙ නෑ ක්‍රිස්තියානි දහම අන්තවාදී භේදාකාරී ආගමක් කියා.ක්‍රිස්තියානි දහම තුළ මිනිසුන් එක්කරන්නේ ධර්මිශ්ට හා නිවැරැදි ආකාරයෙන් මිසක් සමලිංගික විවහා ආදී විකෘතිමත් ආකාර මගින් නොවේ.

2.කතෝලික පියතුමන්ලා තම සම්පූර්ණ ජීවිතයම ජේසුස් වහන්සේ වෙතට කැප කිරීම සමලිංගික ක්‍රියාවක් ද ?

⚫ ජේසුස් වහන්සේගේ භාර්‍යාව ලෙස බයිබලය තුළ සදහන් වන්නේ ශුද්ධ වූ සභාවයි.

පුරුෂයෙනි, ක්‍රිස්තුන් වහන්සේ සභාවට ප්‍රේම කොට සභාව වෙනුවෙන් සිය දිවි පුද කළාක් මෙන්, ඔබත් ඔබගේ භාර්යාවන්ට ප්‍රේම කරන්න.

එපීස 5:25

ජේසුස් වහන්සේ හා පියතුමන්ලා අතර ඇති සම්බන්ධය යනු දේව වචනය පතල කිරීමේ අරමුණෙන් කතෝලික පියතුමන්ලා කතෝලික සභාව හා ජේසුස් වහන්සේ වෙනුවෙන් තම ජීවිතය කැප කිරීමයි.එමෙන්ම පිරිමින් දෙදෙනෙකු ආදරය කළ පමණින් සමලිංගික ක්‍රියාවක් වන්නේ නැත.උදාහරණ ලෙස පියෙකු තම පුත්‍රයාට දක්වන ආදරය,ගුරුවරයෙකු තම සිසුන්ට දක්වන ආදරය දැක්විය හැක.

[ඉහත කරුණු සලකා බැලීමෙන් තේරුම් යන්නේ කවියා නම් කතෝලික දේවධර්ම පිළිබද මූලික දැනුමවත් නොමැති පුද්ගලයා තමාගේ මතය හරීයි කියා පෙන්වීමට තමන් විසින්ම නිර්මිත පඹ තර්ක වලට තඩිබා ඇති බවයි.මෙවැනි පුද්ගලයන් වෙනුවෙන් අපට කළ හැකි එකම දෙය වන්නේ ඔවුනට අනුකම්පා කර,ඔවුන්ගේ සිත් විවෘත කරන ලෙස ඉල්ලා දෙවියන් වහන්සේට යාච්ඤා කිරීම පමණයි]

කතෝලික සමලිංගිකයෙකු ක්‍රියා කළ යුත්තේ කෙසේද?

💠 කතෝලික විශ්වාසය අදහන සමලිංගිකයෙකුට ප්‍රධාන වශයෙන් තෝරාගැනීම් දෙකක් ඇත.

1.කතෝලික ඉගැන්වීමට අවනත වීම.

2.නැතහොත් තම කතෝලික ඇදහිල්ල අතහැර,හැගීම් වලට වහල් වී ජීවත් වීමයි.

සෑමකෙනෙකුටම නිදහස් කැමැත්තක් ලැබී ඇති හෙයින් ඕනෑම තෝරාගැනීමක් තෝරාගත හැක.

සාරාංශය

අවසන් වශයෙන් දැක්විය යුත්තේ සමලිංගිකයන් පව්කාරයන් නොවන බවත් සමලිංගිකව හැසීරීම හා සමලිංගික විවාහා මැවුම්කාර දෙවියන් වහන්සේට හා ස්වභාවික නීතියට පටහැනි ක්‍රියාවන් බවයි.

සමලිංගිකව හැසිරීම සයවන පනත ඍජුවම කඩ කිරීමකි!

සමලිංගිකයන්ගේ සිත් හැරීම වෙනුවෙන් අපි යාච්ඥා කරමු!