BLANTERORBITv101

කිතුනු විශ්වාසයේ කිරීටය වන සක්‍රමේන්තු - 1 කොටස



ඕනෑම දහමකට අනුගත වීම මෙන්ම යම් දර්ශනයකට අනුව මානව පැවැත්ම හැඩගස්වා ගැනීමට උත්සුක වීම වැදගත් වුවද, ඒ ධර්මය හෝ දර්ශනය තුළ සමන්විත වන සත්‍යතාවයන් / ධර්මතාවයන් කෙරෙහි අවධානය යොමු කරලීම දුර්වල තත්ත්වයක පවතින බව නොරහසකි. 

සිල් සමාදන් වීමේ දී සවන් යොමු කරන බණ දේශනාවන් හැරුණු කොට වෙනත් ධර්මානුකූල පොහොණි වීමකට බොහෝ බොදුනුවන් නොපෙළඹෙන බව සත්‍යයකි. තවද, බෞද්ධ දර්ශනය විධිමත්ව හැදෑරීමේදී උත්තරීතර බෞද්ධ දර්ශනය තුළ අන්තර්ගත බොහෝ සත්‍යතාවයන් වලට විවෘත වීමට අවස්ථාව ලැබෙයි. 

එමෙන්ම, කිතුනු දහම කෙරෙහි අවධානය යොමු කිරීමේදී ද තත්ත්වය එලෙසම යැයි ප්‍රකාශ කිරීම යුක්ති සහගතය. බොහෝ කිතුනුවන්ට දහම යනු ඉරුදින දිව්‍ය පූජාවට සහභාගි වීම සහ විවිධ වූ භක්ති අභ්‍යාසයන් වලට මෙන්ම වත්පිළිවෙත්වල නිරත වීම බවද ඍජු ලෙසම ප්‍රකාශ කිරීම යුක්ති සහගතය.

එමනිසා මෙම ලිපියේ මුඛ්‍ය පරමාර්ථය වනුයේ කිතුනු පැවැත්ම හා සෘජුව බද්ධව පවතින දේව ප්‍රසාද නිධාන හෙවත් සක්‍රමේන්තු සම්බන්ධව ඉතා ප්‍රායෝගිකව සාකච්ඡා කිරීමය. එමෙන්ම බොහෝ කිතුනුවනට තම ජීවිතය හා බද්ධව පවතින සක්‍රමේන්තු ස්පර්ශය සම්බන්ධව සැලකිය යුතු අවබෝධයක් ලබාදීමට මෙමඟින් උත්සුක වෙමි. 

දේව ධර්ම නිකේතවල, විද්‍යාපීඨ වල මෙන්ම දෙව්සත්හල්වල මේ සම්බන්ධව ගැඹුරු අවබෝධයක් ලබා දෙන බව සත්‍යයකි. එනමුත් ප්‍රතිශතයක් වශයෙන් මෙය ඉතා අල්පයකි. කිතුනු දේව ධර්ම ක්ෂේත්‍ර තුළ දේව ප්‍රසාද නිධානමය අවබෝධයට ලැබෙනුයේ අද්විතීය ස්ථානයකි. තවද කිතුනු විශ්වාසයේ කිරීටය ලෙස ද සක්‍රමේන්තු හඳුන්වා දී ඇති බව පැහැදිලිය.

කිතුනු දිවිය ආරම්භයේ (උපතේ) සිට මරණය දක්වාම මානව පැවැත්ම සක්‍රමේන්තුවලින් ඉතා සමීපව වෙලී ඇති බවද ප්‍රත්‍යක්ෂය. සක්‍රමේන්තු ස්පර්ශයෙන් කිතුනු දිවිය කිසිවිටෙකත් වෙන් කළ නොහැකි වුවද සක්‍රමේන්තු ප්‍රදානය කරන විට ඇතැම් විට මෙය හුදු පිළිවෙත් සමූහයකට පමණක් සීමා වීම අතීශයින්ම කණගාටුදායකය. එමනිසා මේ මඟින් (මෙම අවබෝධය සමඟින්) අප දිවි වඩ වඩා තිරසාර කර ගැනීමට උත්සුක වෙමු.

තවද, මෙම සාකච්ඡාව තුළ එක් එක් සක්‍රමේන්තුව ඉතා සරලව මෙන්ම සංක්ෂිප්ත ලෙස විස්තර කිරීමට බලාපොරොත්තු වෙමි. සෑම සක්‍රමේන්තුවක්ම ප්‍රදානය කරනු ලබනුයේ (සමරනු) සාන්ත සභාව තුළය. සභාව කිතු තුමන් හා සම්බන්ධව පවතින බැවින් සභාවේ සක්‍රමේන්තු ස්වභාවය ද දෙවන වතිකාන කතිකාව ඉස්මතු කර දක්වයි. (ශුද්ධ වූ සභාව සම්බන්ධ වේද සත්‍ය ව්‍යවස්ථාව අංක 01)

සභාවේ සක්‍රමේන්තු ස්වභාවය මුළුමනින්ම රඳා පවතිනුයේ කිතු තුමන් හා සම්බන්ධ වීමෙනි. එමෙන්ම සභාව කිතු තුමනට සම්බන්ධ වනුයේ ශුද්ධාත්ම බලයෙනි. මෙලෙස ශුද්ධාත්ම බලය මඟින් කිතු තුමන් තුළ එකම ශරීරයක් වෙයි. කිතු සමිඳාණන් හා සම්බන්ධ නොවී ශුද්ධාත්ම බලයෙන් සවිමත් විය නොහැකි බවද මෙහිදී සඳහන් කිරීම උචිතය. 

එමෙන්ම සභාව නැමැති සක්‍රමේන්තු ප්‍රභවය තුළ සක්‍රමේන්තු සත ප්‍රදානය කරනු ලබයි. මෙය පදනම් වනුයේ කිතු සමිඳාණන් වන දෙවියන් වහන්සේගේ මූලික සක්‍රමේන්තුව මතය. තවද ජේසු සමිඳාණන්ගේ දූත කාර්යය පසෙකලා කිසිවිටෙකත් ක්‍රියා කළ නොහැකි බව ද සැලවෙයි. එඩ්වඩ් ස්කිලබෙක්ස් නැමැති දේව ධර්මාචාර්යවරයා මෙම අදහස තහවුරු කර ඇති බව සත්‍යයකි. තවදුරටත් ඔහු පෙන්වා දෙනුයේ සභාව වනාහි සක්‍රමේන්තු සලකුණු විලසිනි.  ඇය සැබෑ සලකුණක් වනුයේ ද ශුද්ධාත්ම ක්‍රියාකාරීත්වය හා බද්ධව පවතින නිසාය. මේ සම්බන්ධව සාකච්ඡා කිරීමේදී 1962 වසරේ ඇරඹි දෙවන වතිකාන කතිකාව හා සම්බන්ධ වූ කාල් රානර් සහ එඩ්වඩ් ස්කිලබෙක්ස් දේව ධර්මාචාර්ය දායකත්වය ද වැදගත් ලෙස සැලකිය හැකිය.

ඉතිහාසයෙන් බිඳක් මෙහි දී සඳහන් කළහොත්,

සක්‍රමේන්තු සම්බන්ධව තවදුරටත් කතිකා කිරීමේ දී පීටර් ලොම්බාර්ඩ් (1100-1160) මුනිතුමාගේ දායකත්වය කිසි විටෙකත් අමතක කළ නොහැකි බව සඳහන් කළ යුතුය. එතුමන්ගේ කෘතිය වූ වාක්‍ය පොත (Book of Sentences) මෙහිදී විශේශත්වයක් උසුලයි. සක්‍රමේන්තුවක් වනාහි දේව වරප්‍රසාදයේ සලකුණක් මෙන්ම අදෘශ්‍යමාන වරප්‍රසාදයේ ප්‍රකාශ වීමක් ලෙස අරුත් ගන්වයි. තවද, 16 වන සියවස දක්වාම මෙම කෘතිය බොහෝ යුරෝපීය සරසවි වල තිබූ දේව ධර්ම පීඨවල නිර්දේශිත ග්‍රන්ථයක් වූ බවට ද සාක්ෂි ඇත. 

තවද, සාන්ත තෝමස් ඇක්වයිනාස් මුනිතුමන් (1227-1274)  පීටර් ලොම්බාර්ඩ් මුනිතුමා විසින් ඉදිරිපත් කරන ලද දේව ධාර්මික පැතිකඩ තවදුරටත් වැඩි වර්ධනය කළහ. 1274 දී ලියොන්ස් හි පැවති දෙවන මන්ත්‍රණ සභාව මඟින් සක්‍රමේන්තු සතක් (7) ඇති බව ස්ථිර වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී. එනමුත් මෙම ඉගැන්වීමට යම් අධිකාරී බලයක් ලැබුණේ 1445 දී පමණ ෆ්ලෝරන්ස් හි පැවති මන්ත්‍රණ සභාව ඔස්සේ වීමද විශේෂත්වයකි. 

මෙම සියවසේ දී (16) සක්‍රමේන්තු පිළිබඳ රෝමානු කතෝලික දෙව් දහම සහ වන්දනා පිළිවෙත් ප්‍රොතෙස්තන්ත  ප්‍රතිසංස්කරණයට මුල් වූ බව දනිමු. (මාටින් ලුතර්, ජෝන් කැල්වින්) මොවුන්ගේ ඉගැන්වීම වූයේ බෞතීස්මය සහ දිව්‍ය සත්ප්‍රසාදය යන සක්‍රමේන්තු ද්විත්වය පමණක් ජේසු තුමන් ස්ථාපිත කළ බවය. මීට පිළිතුරු වශයෙන් 1545 දී ත්‍රිදෙන්තීනු මන්ත්‍රණ සභාව සක්‍රමේන්තු සම්බන්ධව පූර්ණ දෙව් දහමක් ඉදිරිපත් කරන ලදී. මෙලෙස සක්‍රමේන්තු සතේ (7) තිර ස්ථාවරත්වය මෙලෙස ඉදිරිපත් කරන ලද බව සාන්ත සභා මාතාවගේ ඉගැන්වීමයි. තවද, සෑම සක්‍රමේන්තුවක්ම කේන්ද්‍රීයව පවතිනුයේ උන්වහන්සේ මතය. උන්වහන්සේගේ දූත මෙහෙවර මරණය සහ උත්ථානය මඟින් දෙවිඳුන්ගේ විමුක්තිදායක වැඩ සිටීමේ මූලික සක්‍රමේන්තුව බවට කිතු තුමන්ම හඳුන්වන ලදී.

විද්වත් හැදෑරීමේදී මෙම අවබෝධය වැදගත් වුවද සාමාන්‍ය කිතුනු සැදැහැවතුනට මෙය එතරම් විශේෂිත නොවන බවද සඳහන් කළ යුතුය. තවද ඔවුනට වැදගත් වනුයේ ප්‍රදානය කරනු ලබන දේව ප්‍රසාද නිධාන හා සම්බන්ධව පවතින මෙන්ම ඒ සඳහා උපයෝගී කර ගනු ලබන විවිධ දෑ පිළිබඳව තිබිය යුතු පැහැදිලි අවබෝධය යි. මේ සම්බන්ධව ඔවුනට නිසි ලෙස විස්තර නොකරන විට සක්‍රමේන්තු වත්පිළිවෙත් වලට පමණක් සීමා වීම නවතාලිය නොහැකිය. 

නිල පූජකවරය හැරුණු කොට සෙසු දේව ප්‍රසාද නිධාන (සක්‍රමේන්තු) සය සමඟ ඔවුන් දෛනිකව සම්බන්ධ වන බැවින් ඒ සම්බන්ධව ඔවුනට ලබා දෙන අවබෝධය ඉතා වැදගත් වනු ඇත. මෙය නිසි ප්‍රායෝගික ධර්මෝපදේශයක් විය යුතුය. ඔවුනට ලබා දෙනු ලබන පැහැදිලි ධර්මෝපදේශය මඟින් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළ හැකි බවද මෙහිදී සඳහන් කළ හැකිය.


ඉන්ද්‍රා රත්නසිරි ප්‍රනාන්දු පියතුමා 

මීසම් සේවක, කලමුල්ල