BLANTERORBITv101

කිතුනු විශ්වාසයේ කිරීටය වන සක්‍රමේන්තු - 2 කොටස



දේව ප්‍රසාද නිධාන (සක්‍රමේන්තු) සත අප අවබෝධය වෙනුවෙන් මෙලෙස වර්ගීකරණය කළ හැකිය. තවද, මෙය සාම්ප්‍රදායික වර්ගීකරණයකි. 

01. මූලාරම්භක සක්‍රමේන්තු හෙවත් ප්‍රවේශවීමේ දේව ප්‍රසාද නිධාන : 

බෞතීස්මය, අභිවෘද්ධි ආලේපය සහ දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ 

02. සමාජයීය හෙවත් සේවයේ දේව ප්‍රසාද නිධාන 

නිල පූජකවරය සහ ආශිර්වාදකාර බන්ධනය 

03. සුව දානයේ දේව ප්‍රසාද නිධාන 

රෝගීන් ආලේප කිරීම (රෝගීන් සඳහා දෙනු ලබන ආලේපනය සහ සමඟි සන්ධානය) 

සක්‍රමේන්තු සම්බන්ධව මෙලෙස කතිකා කිරීමේ දී කතෝලික සභා ධර්මෝපදේශ ග්‍රන්ථය දෙස ද අවධානය යොමු කිරීම වැදගත්ය. වගන්ති 2856 කින් සමන්විත මෙම "ධර්මෝපදේශය" 1992 අප්‍රේල් මස 30 දින දෙවන ජුවාම් පාවුළු සුදතුම් පියාණන් හට පිළිගැන්වීමෙන් අනතුරුව ජුනි මස 25 වන දින එය උන්වහන්සේ විසින් අනුමත කරන ලදී. "විශ්වාසය තැන්පත් කිරීම" (Deposit of Faith) නම් වූ අපෝස්තලික අනුශාසනා පත්‍රය මඟින් සාන්ත සභාවේ නිල ධර්මෝපදේශය ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. තවද, මෙය රෝමානු ධර්මෝපදේශයේ ව්‍යුහයට සමීප ලෙස සම්බන්ධ වුවද කාලීන අවශ්‍යතාවය මත එහි පසුතලය, අන්තර්ගතය මෙන්ම ප්‍රවණතාවය ද පැහැදිලි වෙනසකට ලක් කර ඇති බව පෙනේ. 

📜 රෝමානු ධර්මෝපදේශය (1566)

* විශ්වාස ලක්ෂණය 22% 

* ප්‍රසාද නිධාන 37%

* දස පනත 21%

* යාච්ඤාව 20%

📜 කතෝලික සභා ධර්මෝපදේශය (ක.ස.ධ.) 1992

* විශ්වාසයේ ප්‍රකාශය 39% 

* ක්‍රිස්තියානි අභිරහස සැමරීම 23% 

* කිතු තුමන් තුළ (නව) ජීවිතය 27% 

* ක්‍රිස්තියානි යාච්ඤාව 11%

(A) බෞතීස්මය හෙවත් ප්‍රසාද ස්නාපනය

මූලික, ප්‍රාථමික දේව ප්‍රසාද නිධානය මෙය ලෙස සැලකිය හැකිය. තවද සක්‍රමේන්තුවක් සඳහා දිය හැකි ඉතාම සරල අර්ථකථනය වනුයේ ඇතුලාන්ත වරප්‍රසාද ගෙන දෙන බාහිර සලකුණක් වශයෙනි. තවද, කතෝලික යන නාමය අප හට අත් පත් වූයේ බෞතීස්මය සමඟ වීම විශේෂත්වයකි. බෞතීස්මය නව අනන්‍යතාවයක් ලෙස ද අර්ථ දැක්විය හැකිය. එමෙන්ම මෙය විශ්වාසයේ පැවැත්මකි. මේ මඟින් අපට කැඳවීමක් දායාද වෙයි.

කිතු සමිඳාණන් තුළ සවිමත් වීමට මෙමඟින් මහඟු අත්වැලක් ලැබෙන බවද පැහැදිලිය. තවද දේව දරුකමේ තිළිණය අපට හිමිවන්නේ ද බෞතීස්මය සමඟය. සභා ඉගැන්වීම්වලට අනුව "ජන්ම පාපයෙන්" නිදොස් වනුයේ ද මෙම ප්‍රාථමික සක්‍රමේන්තුව සමඟය. 

බෞතීස්මය සමඟින් අපි විශ්වාසයේ සංඝයට ඇතුළු වෙමු. තවද සාන්ත සභා මාතාවගේ සාමාජිකත්වය අත්පත් වනුයේ ද මෙමගින් වීම විශේෂත්වයකි. සෙසු ප්‍රසාද නිධාන ලබාගැනීමට සුදුසුකමක් ලෙස ද බෞතීස්මය විස්තර කළ හැකිය. බෞතීස්මය නොලබා සෙසු සක්‍රමේන්තු ප්‍රධාන කරගනු ලබනට කිසිදු අවසරයක් නොමැති බවද සභා මාතාවගේ ඉගැන්වීමයි.

ඉන්ද්‍රා රත්නසිරි ප්‍රනාන්දු පියතුමා 

මීසම් සේවක, කලමුල්ල