BLANTERORBITv101

කිතුනු විශ්වාසයේ කිරීටය වන සක්‍රමේන්තු | 3 වන කොටස



විශේෂකොට, කිතු තුමන්ගේ ත්‍රිවිධ කාර්ය‍යන් සඳහා අපව සම්බන්ධ කරගනු ලබනුයේ බෞතීස්මය මඟිනි; පූජක, දිවැසිවර සහ එඬේරික (රාජකීය) 

✝️ බෞතීස්මය මඟින් දායාද වන පූජක කාර්යය

හෙබ්‍රෙව්වරුන්ට ලියන ලද ලිපියේ කතුවරයා ක්‍රිස්තුස් වහන්සේගේ පූජක කාර්ය සම්බන්ධව අපට සිහිපත් කරයි. පූජක පැළැන්තියෙන් නොපැමිණිය ද, උන්වහන්සේ සැබෑ පූජකයා බව සනාථ කරයි. පූජකයකු යනු, මැදිහත්කරුවෙකි. දෙව් මිනිස් සම්බන්ධතාවයේ අසහාය මධ්‍යස්ථභාවය උන්වහන්සේගේ ධර්මදූත මෙහෙවර තුළ කැපී පෙනෙන්නකි. අප ජීවිත තුළ ද මෙම මධ්‍යස්ථභාවය ජීවත් කරවීම සඳහා උත්සුක විය යුත්තෙමු. තවද අභිවෘද්ධි ආලේපය මඟින් ප්‍රසාද ස්නාපනය තුළ දායාද වූ පූජක කාර්යය ඵලදරන බව ද අපට විස්තර කරයි.

යාච්ඤාව මඟින් කිතුනු අපගේ පූජක කාර්යයට සාක්ෂි දැරිය හැකිය. මෙය යාච්ඤාවේ මැදිහත්වීමකි. ඒ මඟින් දෙවිඳුන් සහ මනුෂ්‍යයන් අතර අතරමැදියකු විය හැකිය. දේවස්ථානයට පැමිණ හෝ නිවෙස් තුළම කරන යාච්ඤාවන් තමනටම ඉලක්ක නොකර ගනිමින් අන් අය සඳහා යොමු කිරීමට උත්සුක වන්නේ නම් එවිට බෞතීස්මය මඟින් අපට දායාද වී ඇති පූජක කාර්යභාරය සඳහා යම් අයුරකින් දෛනිකව සාක්ෂි දැරිය හැකි බව සඳහන් කළ හැකිය.

✝️ බෞතීස්මය මඟින් දායාදවන දිවැසිවර කාර්යභාරය 

දිවැසිවර කාර්යභාරය යනු දෙවියන් වහන්සේගේ "කට වචනයයි", දෙවියන් වහන්සේ වෙනුවෙන් කතා කරන පුද්ගලයෙකි. "සමිඳාණන් වහන්සේගෙන් ජෙරමියා වෙත පැමිණි පණිවිඩය මෙසේය. මේ නව ගිවිසුමේ නියමයන්ට සවන් දෙන්න. ජුදා හි මිනිසුන්ට ජෙරුසෙලමෙහි වැසියන්ට කතා කරන්න" (ජෙරමියා 11/1-2) 

පුරාණ ගිවිසුම් පසුතලය තුළ "පණිවිඩය" සහ ප්‍රකාශ කරන්නා දෙදෙනෙක් වුවද කිතු සමිඳාණන් තුළ මෙය පූර්ණත්වය කරා යොමුවූ බව පැහැදිලිය. පණිවිඩය මෙන්ම ප්‍රකාශ කරන්නා ද උන්වහන්සේම විය. සත්‍ය ගරුක වීම තුළ මෙන්ම යුක්ති සහගත වීම තුළ මෙම දිවැසිවර කාර්යභාරය සඳහා සාක්ෂි දැරිය හැකි බව අවබෝධකර ගනිමු. එමෙන්ම, අසාධාරණ ලෙස තමනට නතු කර ගත හැකි දෑ අභියස පවා ඒවා ත්‍යාජ කරමින් යුක්ති සහගත වීමට හැකි නම් එය දෙවිඳුන් අභියස ප්‍රසන්නව කටයුතු කිරීමකි. කිතු තුමන් තුළ අපි අත්පත් කරගන්නා දිවැසිවර කාර්යභාරයට පණ පෙවීමකි.

එමෙන්ම අන් අයට ලැබිය යුතු දෑ සම්බන්ධව සත්‍යවාදීවම හඬක් නඟනට හැකි නම් එමඟින් ද බෞතිස්මය තුළ දායාද වී දිවැසිවර කාර්යභාරය ජීවත් කළ හැකිය.

✝️ බෞතීස්මය මඟින් දායාද වූ එඬේරික (රාජකීය) කාර්යභාරය 

මෙය හුදෙක් ශ්‍රාවකත්වය මත පදනම් වූ දූත මෙහෙවරකි. ස්වාමීන් වහන්සේ වැඩියේ සේවය ලැබීමට නොව සේවය කිරීමටය (මාක් 10/45) කිතුනුවන් ලෙස අපට දායාද වී ඇති නායකත්වය අන් අය සඳහා කැප වීමට ඇරයුමකි. කිතුනු නායකත්වය නිසි ලෙස අවබෝධ කර ගැනීමට නම් එය ලෞකික වටිනාකම් සමඟ සම්බන්ධ කර ගැනීමට වෙහෙසීම අඥාන වූ ක්‍රියාවකි. 

තම නමට පිටුපසින් අකුරු කිහිපයක් දමා ගැනීම නායකත්වය නොවේ. එමෙන්ම තම අධිකාරී බලය ක්‍රියාවට නැඟීම මඟින් අන් අය අපහසුතාවයට පත් කරලීම ද නායකත්වය නොවන බව අවබෝධ කර ගැනීම ඉතා වැදගත්ය. 

තවද, සුභාරංචියේ දස වන (10) පරිච්ඡේදය ආශ්‍රිතව අප මතකයට නංවන "බැටළුවා සහ එඬේරා" සංකල්පය සම්බන්ධතාවය මීට කදිම නිදසුනකි. බැටළු රැළට ඉදිරියෙන් එඬේරා ගමන් කරන බැවින් ඔවුන් වෙනුවෙන් දිවි පිදීමට පවා එඬේරා සූදානම් විය යුතු බව අපට සිහිපත් කරයි. "මම යහපත් එඬේරා වෙමි".  තවද, අන් අයට දක්වන ප්‍රේමය මඟින් ඔවුන් හා සම්බන්ධ වීමට දෛනිකව යොමුවීමට මෙමඟින් අපට ඇරැයුම් කරයි. තවද, අන් අය වෙනුවෙන් ජීවත් වීමට උත්සුක වීමද ස්වාමීන් වහන්සේගේ එඬේරික පැවැත්මට සාක්ෂි දැරීමකි.

ශුද්ධ වූ පාවුළු තුමා මෙලෙස විස්තර කරයි. "... අපගේ බෞතීස්ම ස්නාපනයෙන් අපිත් උන් වහන්සේ සමඟ වළලනු ලැබුවෙමු (රෝම 6/3-12). දේව ධාර්මික ක්ෂේත්‍රය ඔස්සේ පැන නඟින්නා වූ අවබෝධය සමඟ මෙම සක්‍රමේන්තුව ඉතා ප්‍රායෝගිකව විමර්ශනය කිරීම උචිත වනු ඇත. බෞතීස්මය වනාහී ජීවිත ක්‍රමයකි, එය කැඳවීමක් මිස හුදු කඩදාසියකට/ සහතිකයකට පමණක් සීමා නොවිය යුතු බව මෙහිදී සඳහන් කිරීම උචිතය. බොහෝ දෙමාපියනට තම දූ දරුවන්ගේ බෞතීස්මය සිහිපත් වනුයේ ඔවුන්ව කතෝලික පාසලකට ඇතුලත් කර ගැනීමට අවශ්‍ය වන විට බව පැවසීම අතිශයෝක්තියක් නොවෙයි. එමනිසා බෞතීස්මීය වැදගත්කම ප්‍රථමයෙන්ම දෙමාපියනට අවබෝධ කරදීම වඩා ප්‍රායෝගික යැයි මම සිතමි.

ළදරු වියේදී තම දරුවන් දේවස්ථානයට දෙමාපියන්, ඥාන මව්පියන් සමඟ රැගෙන එන විට මූලික පූජාප්‍රසාදි තුමා ඔවුන්ගෙන් විමසනුයේ ඔවුන් බලාපොරොත්තු වනුයේ කුමක්ද යන්නයි; "......  වෙනුවෙන් ඔබ දෙවියන් වහන්සේගේ ශුද්ධ වූ සභාවෙන් ඉල්ලන්නේ කුමක්ද?" මීට ඔවුන්ගේ පිළිතුර වනුයේ ප්‍රසාද ස්නාපනය යි. ඉන් අනතුරුව දෙමාපිය වගකීම ඔවුන්ට පූජාප්‍රසාදි තුමන් පැහැදිලි කර දෙයි.


~ ඉන්ද්‍රා රත්නසිරි ප්‍රනාන්දු පියතුමා 

මීසම් සේවක, කලමුල්ල