BLANTERORBITv101

බිළිදු ජේසු දෙව්මැදුරේ පුරාවත



කොළොම්තොට සිට ගාළු පුරවරය දක්වා දිවෙන මහ මාර්ගයේ කළුතර නගරයට සැතපුම් දෙකක් පමණ පිහිටි කලමුල්ල මුහුදු රැල්ලට මායිම් වූ ගම් තීරයකි. 

කිලෝමීටරයක් ඇති නැති තරම් වූ මේ ගම් පියසේ ඉතිහාසය ගිරා සංදේශ කතුවරයා වර්ණනාවට ලක් කරන්නේ මෙසේය. 


පතඟ කිරණ දුරු කළ තුරු        සෙවනැල්ල

තරඟ රඟන රඟ බිම් රඟ         සුදුවැල්ල 

නිතඟ ලෙසට පිය තෙපුලැති       ලියගොල්ල

බලඟ මිතුර පෙර මඟ සැදි        කලමුල්ල

 

පසළොස්වක දැඩි හිරු රැස් මඩින පොල් රුප්පාවකින් සමන්විත මෙම ග්‍රාමයේ වර්තමානය වන විට පවුල් දාහකට වඩා වෙසෙන අතර ඉන් වැඩි කොටසක් රෝමානු කතෝලිකයෝ වෙති. මතු පරම්පරාවට උරුමකම් කීමේ අටියෙන් මෙම ග්‍රාමය තුළ සුවිසල් දෙව්මැඳුරු පහක් ඉඳි වී ඇත. එනම් ජේසු බිළිඳු , සාන්ත මරියා, සාන්ත අන්තෝනි, සාන්ත සෙබස්තියන් හා සාන්ත පිලිපනේරි (කලමුල්ල මීසමේ කටුකුරුන්ද ග්‍රාමයේ පිහිටා ඇත.) යන දේවස්ථානයන් ය.

මෙම දේවස්ථාන පහ අතුරින් ජේසු බිළිඳු දේවස්ථානයට සුවිශේෂී ස්ථානයක් හිමිවනුයේ එය ජුසේ වාස් පිය ආගමනයත් සමඟ ඉඳි වූ නිසාය.

ජේසු බිළිඳු දෙව්මැදුර යනු, අනාදිමත් කාලයක සිට විශාල කතෝලික බැතිමතුන් සංඛ්‍යාවක් වෙසෙන වෙරළබඩ ගම්මානයේ කලමුල්ල මීසමට අයත් සුවිසල් ඓතිහාසික දෙව් විමනකි. සියවස් ජුබිලිය සැමරුව ද අවුරැදු 322 ක අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියන අප දෙව්මැඳුරේ තතු මෙසේය.

ඕලන්ද තාඩන පීඩන සමයේ දී අන්ත පරිහානියට පත් මේ දේශය තුළ කතෝලික දහම යළි ගොඩනඟනු වස් ජුසේ වාස් පියතුමා ඇතුළු දූත පිරිස 1687 අප්‍රේල් මස ලංකාවට සේන්දු විය. ඉන්පසු උන්වහන්සේ සිය ධර්මදූත කටයුතුවල යෙදුණු අතර 1697 අග භාගයේ දී එකල ලන්දේසීන් තැනූ පුත්තලම් වරායේ සිට ගාලු වරාය දක්වා වූ ඇළ මාර්ගය දිගේ එහි ගමන්ගත් පාරුවක නැඟී කලමුල්ල වෙරළුගසමංකඩ තොටුපළට ළඟා විය. ඒ වර්ෂ 1687 දෙසැම්බර් මස 25 වන දින සවස් යාමයේ යාචකයෙකු ලෙස වෙස්වලාගෙනය. තොටුපළ බාරව ක්‍රියා කළ බෝදියාබදුගේ වලෙන්තීනු පෙරේරා නොහොත් වලෙන්තිරාළ නීතිය අනුව ඇල බද්ද අයකිරීමෙහි නියුතු වූවෙකි. 

වැරහැලි වෙලාගත් නාඳුනන යාචකයෙක් රාත්‍රියේ වලෙන්තිරාළගේ නිවසට පැමිණියේ ය. ඒ අවස්ථාවේ නිවසේ අය ජපමාලය උච්චාරණය කරමින් සිටි අතර යාචකයා ද ජපමාලයයේ ඇට ගණන් කරමින් සිටිනු දක්නා ලදී. ඔහු " පාරු තොටේ වලෙන්ති ඔබ දැයි" ශාන්ත ස්වරූපයෙන් විමසීය. අනුකම්පාව පෙරදැරිව "ඔව්" යන්න වලෙන්තීනුගේ පිළිතුරු විය. යාචකයා කතාව නොනවත්වාම දිගහරිමින් "බයවෙන්න එපා. මා ඔබ සොයා ආවේ රහසින් දැනගත් තොරතුරු රැසක් කැටි කරගෙන, සමහර විට ඔබ ද මා ගැන අසා ඇති. මා තමයි ජුසේ වාස් පියතුමා, ඔබට මා වෙනුවෙන් හුඟක් දේ කිරීමට පුළුවන්. ජේසුගේ නාමයෙන් මට සහාය වන්න."යනුවෙන් පැවසීය. ජුසේ වාස් පියතුමාගෙන් ගෙහිමියා එතුමන් කෑම අනුභව කළේ දැයි ඇසූ විට එතුමාගේ පිළිතුර වූයේ "කෑම කෑවේ නැත. තියෙන දෙයක් දෙන්න." යනුවෙනි. එවිට බත් දන්කුඩ පමණක් පිඟානකට දමා එතුමන්ට පිළිගැනුණ ද එතුමා එය ආශිර්වාද කර යාච්ඤා කර අනුභව කිරීමට ගිය විට එය බත් බවට පත්වී තිබුණි. එතුමාණන් විසින් කලමුල්ල ග්‍රාමයේ දී කළ පළමු ප්‍රාතිහාර්යය එය විය.

සත්‍ය හරි හැටි වටහා ගත් වලෙන්තිරාළ ජුසේ වාස් පියතුමාව මහත් සොම්නසින් යුතුව භක්ති ආදරයෙන් පිළිගෙන සිය නිවහනේ නවාතැන් පහසුකම් ද ගමේ අවට මුළු ගැණුන කතෝලිකයන් සොයා යාමටත් නොබියව ඉදිරිපත් විය. මෙලෙස 

වලෙන්තීනු ගැන සියලු විස්තර දැන පැමිණි වාස් පියතුමා ඔහුගේ ආධාරයෙන් රහසිගතව අවට සිටි කතෝලිකයන් රැස් කර ගැනීමට සමත් විය. 

වලෙන්තීනු ගැන සියලු විස්තර දැන පැමිණි වාස් පියතුමා ඔහුගේ ආධාරයෙන් රහසිගතව අවට සිටි කතෝලිකයන්ව රැස් කර ගැනීමට සමත් විය. එනම් සති 3 ක් වලෙන්ති ගෙදර රැඳුණු මෙතුමා කටුකුරුන්ද, පයාගල සහ අන් ගම් කිහිපයක සැරිසරමින් එම වකවානුවේ මැදියම් නත්තල් රැයේ දී සියලු කතෝලිකයන් ඒකරාශී කිරීමට සමත් විය. එතුමා පාළුවත්ත නමින් හැඳින්වූ (කලමුල්ල කන්‍යාරාමය පිහිටි භූමිය) සැදැහැවතෙකුගේ ඉඩමක පොල් අතු මඩුවක් තනා එහි දී සිදු කළ ඓතිහාසික දිව්‍ය පූජාවෙන් අනතුරුව "මෙම අසිරිමත් නත්තල් මඩුව ජේසු බිළිඳුන්ගේ නාමයෙන් සදාකල් පවතීවා" යනුවෙන් ප්‍රාර්ථනා කළේය.

අද ඒ නත්තල් මඩුව කලමුල්ලේ ජේසු බිළිඳු දෙව්මැඳුරයි. වාස් පියතුමාගේ එම ප්‍රාර්ථනය මල්ඵල ගන්වමින් ජේසු බිළිඳුන්ගේ දෙව්මැඳුරේ මූලාරම්භය මෙසේ විය. ඕලන්ද ආගම් පීඩනයේ ප්‍රචණ්ඩ බව ක්‍රමයෙන් පහව යද්දී ජේසු බිළිඳුන්ගේ නමින් වූ නත්තල් මඩුව කටුමැටි වරිච්චි බිත්තියෙන් සැදි කුඩා දේවස්ථානයක් බවට පරිවර්තනය විය. ඒ ක්‍රි.ව. 1706 කලමුල්ලේ නේවාසිකව විසූ ගරු මනුවෙල් සී. මිරෙන්ඩා පියතුමන් අතිනි. 

මෙපරිදි කාලය ගෙවී යද්දී දහම් උන්නතිය මුහුකුරා ගිය ද කලමුල්ල වැසියෝ කොටස් හතරකට බෙදී යාමට වූහ. පෘතුගීසි සමයේ පැවති පැරණි දේව මාතා දේවස්ථානය අගයමින් එක් පාර්ශවයක් දේව මාතාවන්ගේ නාමයෙන් කුඩා දෙව් මැඳුරක් ඉඳි කරන්නට වූහ. තවත් දෙපිරිසක් සාන්ත අන්තෝනි හා පේදුරු පාවුළු (වත්මන් සාන්ත සෙබස්තියන් ) යනුවෙන් කුඩා දේවස්ථාන දෙකක් බිහි කිරීමට උනන්දු වූහ. ඉතිරි කොටස ජේසු බිළිඳුන්ගේ දෙව්මැඳුර දෙවන වරටත් පුළුල් කිරීමේ හැකියාව ගැන සොයා බැලූහ. ඉංග්‍රීසි සමයේ දී කලමුල්ල පැරණි පාරු තොටුපළ වෙනුවට කරත්ත රේන්දය පිවිසීමෙන් වෙරළුගස්මංකඩ රෙන්ද පොළක් වී විදානරාළලාගේ දොන් ජෙරමියස් සුවාරිස් බදු ලේකම් තනතුරේ ක්‍රියා කළේය. මොහුගේ එකම බලාපොරොත්තුව වූයේ කටු මැටියෙන් වූ ජේසු බිළිඳු දෙව්මැඳුර තුන්වන වරටත් නවීකරණය කර ඉදිරියට ගෙන ඒමයි. 

වරිච්චි බිත්ති වෙනුවට කැටගල් යොදා නැවතත් උස්මහත් කළ පල්ලිය දිගින් අඩි 32 ක් ද පළලින් අඩි 24 ක් ද විය. පළු දෙකට බෑවුම් පියස්ස සිංහල උළු සෙවිලි කරන ලද අඩි 16 කට වැඩියෙන් උස් නොවී‍ය. මොගොප්පුව නැති මෙහි මහා දොරකඩ ඇතුළුව දොරවල් ගණන 6 ක් පමණය. පැරණි තොරතුරු හුවා දක්වන අන්දමට ගරු පී. හොරඤ්ඤ පියතුමා මීසමේ සිටි බවත් වසර 1816 දී එය සාදා නිමකර ආශිර්වාද කළ බවත් සඳහන් ගල් ලෑල්ලක් බිත්තියේ ගිල්වා තිබුණ බවත් කියවේ.

ක්‍රි.ව. 1843 දේවස්ථානයේ පැවැත්ම අංශ කිහිපයකින් වැදගත් විය. එය ගරු ජෝශප් පෙරෙයිරා පියතුමාගේ කාලය යි. මෙකල වලෙන්ති පෙළපතින් පැවත එන කමෙල් පෙරේරා යන අය ප්‍රිසෙන්ති මුහුප්පු තනතුරෙන් පුදනු ලැබීම ජේසු බිළිඳුන්ගේ දෙව්මැඳුරට අත් වූ මහත් ගෞරවයක් සේ සලකන ලදී. තවද, පල්ලියේ සීනු කූඩුව ගඩොලින් නිමවා ඉතාලියෙන් ගෙන්වන ලද සීනුවක් එහි සවිකර ලැඟුම් ගෙය ද කබොක් ගලින් නිමවන ලදී. 

වසර 1901 ගෙවීයාමට මත්තෙන් ජේසු බිළිඳුන්ගේ කැටගල් දේවස්ථානය ජරාවාස වීමේ ලකුණු පහළ විය. ගරු ලියෝ ප්‍රනාන්දු පියතුමා මේ වන විට මීසම්භාරව පත් වූ ප්‍රථම ලාංකික පියතුමාය. ජේසු බිළිඳුන්ගේ නව දෙව්මැඳුරක වැදගත්කම ගැන තීරණය කළ මෙතුමා ගමේ ඉහළ පෙළේ පුද්ගලයෙකු වූ පේස්තේරුවේ ලියනරාලලාගේ එව්සේබියස් කුරේ අබේරත්න ප්‍රිසෙන්ති මුහුප්පු නොහොත් නොතාරිස් රාළහාමි වෙත මෙම භාරදූර කර්තව්‍යයේ වගකීම බාර කළේය. මොහු තම මීගොඩ පරංගියා වත්ත ඒ සඳහා පූජා කොට දේවස්ථාන සැලැස්ම අනුව අවට බිම් මුදලින් පවරාගෙන ගොඩනැගිලි අරමුදල සඳහා වැඩි කොටසක් තම ධනයෙන් පරිත්‍යාග කිරීමට තරම් ත්‍යාගශීලී විය.

යෝජිත ජේසු බිළිඳුන්ගේ අලුත් පල්ලිය සඳහා යථෝක්ත ඉඩමේ පදනම් ගල තැන්පත් කිරීම වසර 1908 අගෝස්තු 16 වන දින අති උතුම් අන්තෝනි කුදේරු අගරදගුරු හිමිපාණන් අතින් සිදුවිය. ඒ මීසම් සේවක ගරු ග්‍රෙගරි සිල්වා පියතුමාගේ අපරිමිත ධෛර්යයේ ප්‍රතිඵලයක් ලෙසිනි. රෝම ග්‍රීක සම්ප්‍රදායානුකූලව ගොඩනැගිලි නිර්මාණ කොන්ත්‍රාත්තුව බාර වූ ඉන්දියානු කොචින් ජාතික මරතීනු මරිය පුල්ලේ සිය  පෙදරේරුවන් සමඟින් දේවස්ථාන භූමියේ නැවතී සිටිය දී, බිත්ති බැඳීමේ ඉංජිනේරු ශිල්පය දත් ගරු කැරියර් පියතුමාගේ සේවා කාලය එළඹියෙන් එතුමා මෙම දේවස්ථානයේ බිත්ති බැඳීම කල් නොයවා සම්පූර්ණ කළේ මහත් උනන්දුවෙනි. මෙවන් පසුතලයක් මත ඉඩම් හිමි වැවිලිකරුවකු වූ පේස්තේරුවේ ලියනරාලලාගේ පිලිප් කුරේ ප්‍රිසෙන්ති මුහුප්පු තනතුරට පත්වීම දේවස්ථාන සංවර්ධන පද්ධතියේ ඉතිරි කොටස් ඉදිරියට ගෙනයාමට මහෝපකාරී විය.

අවුරුදු සියයක ඉතිහාසය 

වසර 1918 දී පරණ පල්ලියේ වාර්ෂික උත්සවය නිමිත්තෙන් කොඩි ගස එසවීමට සති කීපයක් තිබිය දී පල්ලි පියස්සේ මුදුන් ලීය පුපුරා පළුඳු වීමෙන් කිසිත් කරගත නොහැකි වූ දායක පිරිස ඒ සඳහා පිළිමයක් සොයා පියතුමා මුණ ගැසුණහ. කරුණු නිසියාකාරව ඉදිරිපත් කළ මොවුහූ සාම්ප්‍රදායික සිරිත් අනුව යමින් පෙරහැර ඇතුළුව අහස් නැඟීමේ දර්ශන විලාසය මෙවර ද ජය කෙහෙළි බැඳ පැවැත්වීම සඳහා ප්‍රමාණවත් මඩුවක් තනා ගැනීමට නව දේවස්ථාන භූමිය වඩාත් යෝග්‍ය බව පැවසූහ. ඒ අනුව පියතුමාගේ ආරාධනය පිළිගෙන පැමිණි අන්තෝනි කුදේරු හිමිපාණන්ගේ ආශිර්වාදයෙන් පසු අල්තාර කුටිය පමණක් නිමකළ දේවස්ථානය ද මේ වෙනුවෙන් යොදාගත් බව කියැවේ. මේ අනුව ජේසු බිළිඳුන්ගේ අලුත් දෙව්මැඳුර 1918 දී අභිසෙස් ගන්වා ඇති අතර 2018 මැයි මස 10 දිනට සියවස් පූර්ණ ජුබිලිය යෙදිණි. 

මංගල්‍යයට පෙරදින ගම වටා ගිය පෙරහැරේ ගමන් මඟ කටුකුරුන්ද, පයාගල දක්වා දීර්ඝ විය. මංගල පූජාවෙන් පසු ගතානුගතිකව සිදු කළ ජේසු තුමන්ගේ ස්වර්ගාරෝහණය වළාකුළු මැද සුරදූතයින් පිරිවරාගෙන ඉළලට ඔසවනු දැක්ම කාගේ වුවද සිත් සතන් ප්‍රබෝධවත් කළේය. නමුත් ගරු ෆොන්සේකා පියතුමාගේ ඉල්ලීමක් පරිදි ඉන්පසු වසර වල දේවස්ථානයේ දී මෙය සිදු නොවීය. 

දේවස්ථානයට අයත් පැති පල්ලි ඇතුළු ඉතිරි පියස්සේ වැඩ සම්පූර්ණයෙන්ම කෙළවර දුටුවේ වසර 1928 දී ගරු විල්ෆ්‍රඩ් පියතුමාගේ කාලයේදීය. වසර 1933  ගරු ජේම්ස් පාරිස් පියතුමාගේ සමයේ දී අහස් නැඟීමේ මංගල්‍යය නැවතත් නව සිද්ධස්ථානය වෙතින් කලඑළි දුටුවේ අඩුපාඩු රැසක් මැදිවය. මෙතුමා මග්ගොන ශාන්ත වින්සෙන්ති වඩු කම්හලට ඇපකරුවෙක් වී දොරවල් තේක්ක ලීයෙන් සාදවා සවි කිරීමේ අදාල කටයුතු නොකඩවා කරගෙන ගිය ද එම ණය ගණුදෙනුවෙන් පල්ලිය නිදහස් කළේ ගරු පීටර් සැලමන් පියතුමන් විසින් වසර 1937 දීය. 

වසර 1948 දී මීසමට සැපත් වූ ගරු එම්. ජෝශප් ප්‍රනාන්දු පියතුමා ලංකාව පුරා ඇවිද දෙව්මැඳුරේ අවසන් වැඩ කොටස සඳහා මුදල් සෙවීමේ දැඩි පරිශ්‍රමයක යෙදුණේය. ගරු පියතුමාගේ ඉල්ලීම පරිදි පිලිප් කුරේ ප්‍රිසෙන්ති මුහුප්පු මහතාගේ පුතණුවන් වූ පී. හර්මන් කුරේ මහතා තම ධනය යොදා දේවස්ථානය ඇතුලත සුදු හුණු ආලේපය නිමකර පුදසුන් සාලය වටා ගරාදි වැටක් සවි කරන ලදී. ඉන්දියාවේ ට්‍රැවැන්කෝරයෙන් ගෙන්වන ලද අඩි 4 ක් උසැති ජේසු බිළිඳුන්ගේ සාන්ත සිරි ප්‍රතිමාව ඔහුගේ සොයුරිය වන පී. ගර්ට් රූට් කුරේ මහත්මිය විසින් පියතුමා වෙත ප්‍රදානය කරනු ලැබූ අතර එය කිරි ගරුඬ පූජාසනය මත තැන්පත් කරන ලදී. තවද, වයික්කාලේ ඩී. අන්ද්‍රාදි මහතා මොගොප්පුව සඳහා කළ පරිත්‍යාගය ඉතා උදාරය. මෙසේ දේවස්ථානයේ වැඩ කටයුතුවල නිමාව දකිද් දී මුළු දෙව්මැඳුරටම සිමෙන්ති දමා ඔපමට්ටම් කරවන ලද්දේ ඇම්. සිල්වෙස්ටර්  කුරේ වනිගරත්න මහතා විසිනි. ජනෙල් කවුළු සඳහා වූ වීදුරු තොගය ජෝන් ජයසූරිය මහතා විසින් සපයන ලදී. ගෘහ නිර්මාණ ශිල්පී ඩබ්ලිව්. බී. මනුවෙල් ප්‍රනාන්දු යන අය විසින් තම ශ්‍රමය නොමිලේ ලබාදුන් අතර ඉතිරි වැඩ සඳහා පියතුමා විසින් එකතු කරන ලද මුදල් තවදුරටත් උපකාරී විය.

වසර 1868 දී දේවස්ථානයට විදුලි ආලෝකය ලබා දුන් ගරු ෆ්‍රැන්සිස් ප්‍රනාන්දු පියතුමා ජේසු බිළිඳුන් වෙත දැක් වූ මහත් භක්ති ආදරය හේතුවෙන් සතිපතා සෑම බ්‍රහස්පතින්දා දිනකම ආශ්චර්‍යමත් ජේසු බිළිඳුන්ගේ නුවානය ආරම්භ කර වසර 1972 දී චෙකොස්ලොවැකියාවේ ප්‍රාග් නගරයෙන් ගෙන්වන ලද ජේසු බිළිඳුන්ගේ දර්ශනීය කුඩා පිළිරුවක් බුරුත පුදසුනක් මත ස්ථාපිත කිරීමෙන් නුවාන මෙහෙයට ප්‍රසිද්ධියක් ලබා දුන්නේය. ජේසු බිළිඳුන්ගේ මෙම නුවානය මේ දක්වා නොකඩවා පැවැත් වේ. 

ඉතිහාසයෙන් බිඳක් ...

3 වන කොටස

වසර 1974 සිට ගරු අර්නස්ට් පෝරුතොට පියතුමාගේ මීසම් කාල සීමාව ජේසු බිළිඳු දේවස්ථානයට එතරම් සුභදායක නොවීය. සභා නීතියට අනුව ජේසු තුමන්ගේ ස්වර්ගාරෝහණ මංගල්‍යය පැවැත්වීමට නියම වූයේ උත්ථානයෙන් දින 43 කට පසු වන ඉරිදා දිනයි. නමුත් ශුද්ධ වූ බයිබලයේ සඳහන් පරිදි දින 40 විකෘත නොකර ලෙස ඔස්ටින් කැන්ටර් මහතා සහ පාලක පක්ෂයෙන් කළ ඉල්ලීම නිසා මතභේදාත්මක තත්ත්වයක් ඇති විය. එහි ප්‍රතිඵලයක් ලෙස එකම වර්ෂයේ පෙරහැර දෙකක් බදාදා සහ සෙනසුරාදා යන දිනයන්හි එකම මාර්ගයේ ගමන් කිරීමෙන් 1981 සිට දේවස්ථානය දින නියමයකින් තොරව වසා දමන ලදී. එසේ වුව ද එතෙක් පරම්පරාගතව නොකඩවා පවත්වනු ලැබූ පෙරහැර කුඩා සුරුවමක් රැගෙන වසර 1982 දී ද වීදී යාමට ගම් වැසියෝ පසුබට නොවූහ. තවද, දේවස්ථානයේ මංගල්‍යයක් සිදු නොවූ එකම අවස්ථාව ද මෙයයි.

එනමුත් වසර 1983 දී ගරු ජුලියන් තිසේරා පියතුමාගේ පැමිණීම දෙව්මැඳුර නැවත විවෘත කිරීමට ඉවහල් විය. මේ වන විට ජේසු තුමන්ගේ ස්වර්ගාරෝහණ මංගල්‍යය නැවතත් දින 40 කට සීමා වී තිබුණි. 

ගරු ඇන්ටන් පිලීෂියන් පර්ඩිනෑන්ඩිස් පියතුමා වසර 1989 දී වැඩ බාර ගත්තේ පරවියන්ගෙන් ගහණ වූ ජරාවාස වූ දේවස්ථානය නැවත පිළිසකර කිරීමේ අදහසින් දේවස්ථාන කමිටුවක් පත් කර ගෙනය. දෙව්මැඳුර සායම් ආලේපනයෙන් ඔප ගැන්වීමත්, කැඩුන වීදුරු ජනෙල ඉවත් කර ඒ වෙනුවට සිමෙන්ති මල් ගඩොලින් ඇහිරීමත් කමිටුවේ සහය ඇතිව මෙතුමා විසින් සිදු කරවීය. නැවතත් වසර 1991 සිට ජේසු තුමන්ගේ ස්වර්ගාරෝහණ දිනය සඳහා සභා නියමයෙන් ඉරිදා දිනයට යොදා තිබුණ ද මේ දේවස්ථානය සඳහා පමණක් බ්‍රහස්පතින්දා දිනය ද වලංගු විය. 

1992- 1995 දක්වා මීසම් භාරව සිටි පියතුමා විසින් දේවස්ථානයේ සංවර්ධන කටයුතු සිදු කළ අතර දණ බංකු දැමීම ද සිදු කරන ලදී. 

ජේසු බිළිඳු අලුත් දේවස්ථානය සඳහා පදනම් ගල තැන්පත් කිරීම පිළිබඳ සිහිවටන පුවරුව (මොගොප්පුවේ තිබූ) එදා ගැලවී කැඩී බිඳී තිබුණු බැවින් ඩබ්ලිව්. ඩී. ඔස්ටින් කැන්ටර් මහතා විසින් පසු කලෙක වර්ෂය (1908) පමණක් සඳහන් කර ලෑලි පුවරුවක් සවිකර ඇත. වසර 2006 දී මීසම් පාලකව සිටි ගරු රොහාන් ද සොයිසා පියතුමා ඇතුළු එවකට සිටි දායක සභාව පල්ලියේ විශාල වැඩ කොටසක් කළෝය. වහලට අලුතින් උළු දැමීම, පල්ලිය නැවත කපරාරු කිරීම, තීන්ත ආලේප කිරීම ඉන් සමහරකි. දායක සභාවේ සභාපති වශයෙන් කටයුතු කළ පේස්තේරුවේ ලියනරාලලාගේ ලක්ෂ්මන් කුරේ විජේවර්ණසූරිය මහතා විසින් නැවත පදනම් ගල් පුවරුවක සිහිවටනයක් අලුතින් සකස් කර වසර 2008 දී සවි කරන ලදී. මෙය අද පල්ලියට ඇතුලු වන (මහ දොරටුව) වම්පස බිත්තියේ සවි කර ඇත. 

ජුසේවාස් පියතුමා සිහිවීම පිණිස පැරණි ජේසු බිළිඳු දේවස්ථානයේ සීනු කූඩුව මත මණ්ඩපයක් සාදා ජුසේ වාස් පිළිරුවක් ස්ථාපිත කර ඇත.

2018 දී සියවස් ජුබිලිය අරඹයා සිදු කෙරුණු ප්‍රතිසංස්කරණ කටයුතු මීසම් පාලක ගරු ඉන්ද්‍රා රත්නසිරි පියතුමන් හා මීසම් සහයක ගරුක ඩිලාන් පියතුමන්ගේ මඟපෙන්වීම යටතේ සිදුවිය. ඒ අනුව වසර ගණනාවකට පසු තීන්ත ආලේප කිරීම, මහ පල්ලියේ වහලට අඟල් 17 ක් දිග විශේෂිත උළු අලුතින්ම සාදා යෙදීම, කුඩා පල්ලි දෙකට සිවිලිම් යෙදීම, අල්තාරය හා සන්ක්‍රිස්තියන් කාමරයේ විදුලි පද්ධතිය සැකසීම, ශබ්ද විකාශන පද්ධතිය අලුතින්ම ස්ථාපිත කිරීම, කුරුස ලකුණ පෙන්වන ප්‍රතිමාව හා කුරුසිය දේවස්ථානය ඇතුලත සවි කිරීම, බංකු පොලිෂ් කි‍රීම, කපරාරුව නැවත අලුත් කිරීම හා පල්ලියේ දොර ජනෙල් අලුත්වැඩියා කිරීම සියවස් ජුබිලිය අරඹයා සිදු කෙරිණි. 

2019 වර්ෂයේ දී පාස්කු ප්‍රහාරය හේතුවෙන් රටේ පවතින අනාරක්ෂිත තත්ත්වය හේතුවෙන් වාර්ෂික මංගල්‍යය වෙනුවෙන් පැවැත්වෙන සන්ධ්‍යා මෙහෙය හා පෙරහැර යාම සිදු නොවිණි. මංගල දිව්‍ය යාගයෙන් පසු සැදැහැවතුන් දේවස්ථානය තුළ රැඳී සිටිය දී මීසම් පාලක ගරු ඉන්ද්‍රා රත්නසිරි පියතුමන්, මීසම් සහයක ගරුක ඩිලාන් පියතුමන් හා පූජක සහයක දරුවන්ගේ සහභාගීත්වයෙන් පමණක් ක්‍රිස්තුන් වහන්සේගේ ස්වර්ගාරෝහණ කුඩා ප්‍රතිමාව රැගෙන දේවස්ථානය වටා පෙරහැර යාම සිදු විය. 

මෙම වසරේ දී ද නැවතත් (2020) කොරෝනා වසංගතය හේතුවෙන් වාර්ෂික මංගල්‍යය උත්සවශ්‍රීයෙන් සැමරීමට නොහැකි වූ අතර ක්‍රිස්තුන් වහන්සේගේ ස්වර්ගාරෝහණ ප්‍රතිමාව රැගත් වීදි පෙරහැර යාම සිදු නොවුණි. ඒ අනුව වත්මන් මීසම් පාලක මීසම් පාලක ගරු ඉන්ද්‍රා රත්නසිරි පියතුමන් හා මීසම් සහයක ගරුක සංජීව අප්පුහාමි පියතුමන්ගේ මෙහෙයවීමෙන් මෙවර වාර්ෂික මංගල්‍යය නිමිතිකොට ගෙන සන්ධ්‍යා මෙහෙය හා මංගල දිව්‍ය යාගය පියතුමන්ලා, කන්‍යා සොහොයුරියන්, ගායනා කණ්ඩායමේ කිහිපදෙනෙක් සහ පූජක සහයක දරුවන් කිහිපදෙනෙකුගේ සහභාගීත්වයෙන් සිදු කරන ලදී. සැදැහැවතුනට නිවසේ සිටම ශබ්ද විකාශන යන්ත්‍ර හරහා ඊට සහභාගී වීමට අවකාශය සලසා දී තිබුණි. තවද, සැදැහැවතුනට රටේ පවතින නීතියට හා සෞඛ්‍ය උපදෙස් වලට අවනත වෙමින් (කණ්ඩායම් ලෙස එක් රැස් නොවී) දේවස්ථානයට පැමිණ ක්‍රිස්තුන් වහන්සේගේ ස්වර්ගාරෝහණය ප්‍රතිමාව ඉදිරියේ යාච්ඤා කිරීමට අවකාශය සලසා දී තිබුණි. 

තුන්වන වරට ද අඛණ්ඩව මෙම වර්ෂයේ දී ද (2021) කොරෝනා වසංගතය හේතුවෙන් මෙවර මංගල්‍ය නොපැත්වේ. ඒ අනුව කොඩිගස එසවීම, සන්ධ්‍යා මෙහෙය, පෙරහැර හා මංගල්‍ය දිව්‍ය යාගයන් කිසිවක් රටේ පවතින තත්ත්වය හේතුකොට ගෙන පැවැත්වීමට අවකාශය මෙවර නොලැබිණි. 

සමාප්තයි!

Infant Jesus Church, Kalamulla  ~~✍️✍️