BLANTERORBITv101

රූපවාහිනී දිව්‍ය පූජාව මඟින් ඉරුදින ණය යුක්තිය ඉටුවේද?



මේ පැනයට යම් ආකාරයක හෝ පිළිතුරක් සොයන්නට නම් අප පළමුවෙන්ම ඉරිදා දිව්‍ය පූජාවට සහභාගි වීමේ ණය යුක්තියක් කුමක්දැයි යන්න නිසි ලෙස වටහා ගත යුත්තෙමු. පළමුවෙන්ම අප ඉරිදා දිව්‍ය පූජාවට සහභාගි වීම පිළිබඳ කතෝලික සභාව උගන්වා සිටින දේව ධාර්මික හා නෛතික ඉගැන්වීම් මොනවාදැයි සැකෙවින් විමසා බලමු. දේව වචනය තුළින් දෙවියන් වහන්සේ අපට අනාවරණය කරන එක් විධානයක් නම්, සබත් දවස ශුද්ධවන්තව ගත කළ යුතුය යන්නය (නික්මයාම 8:20). ශත වර්ෂ ගණනක් තිස්සේ මේ සබත් දිනය ශුද්ධවත්ව ගත කිරීම ඉරිදා දිව්‍ය පූජාවට සහභාගි වීම හා සම්බන්ධ කර ගැනිණ. පසුකාලීනව කතෝලික සභාවේ ඉගැන්වෙන ශුද්ධ වූ සභාවේ පළමු පනත වන "ඉරුදිනත්, ණය මංගල්‍ය දිනත් දිව්‍ය පූජා යාගයට සහභාගී විය යුතු‍ය" යනුවෙන් නෛතිකව ඉදිරිපත් කරන ලදී. ශුද්ධ වූ සභාවේ පනත් යනු, සැදැහැවත් ජනතාවට දේව වන්දනාත්මක ජීවිතය පෝෂණය වන හා සදාචාරාත්මක ජීවිතයෙන් බැඳුණු සන්දර්භය තුළ අර්ථවත් හා බැතිමත් කිතුනු දිවියක් ගත කිරීම සඳහා සභාව විසින් පනවා ඇති ආඥාවන්ය.

මෙම "සදාචාරාත්මක ගුණාංගයන්ගෙන් බැඳුණු මෙම ධනාත්මක නීති, දෙවියන් වහන්සේ වෙතත්, අසල්වැසියන් වෙතත්, ප්‍රේමයෙන් වර්ධනය වනු සඳහා යාච්ඤාවේ ස්ප්‍රීතුවත්, සදාචාරාත්මකව ජීවත්වීමේ පරිශ්‍රමයත්, අවම වශයෙන් හෝ ඉතාමත් අවශ්‍ය බව, එඬේරික අධිකාරීන් විසින් සිය විශ්වාසකයිනට නියෝග කොට සහතික කරනු ලබන්නේය" (ධර්මෝපදේශය අංක 2014).

ඉරුදිනත්, ණය මංගල්‍ය දිනත් දිව්‍ය පූජාවට සහභාගී විය යුතුය යන ශුද්ධ වූ සභාවේ මෙම පළවෙනි පනතින් සියලුම විශ්වාසයකින්ගෙන් අපේක්ෂා කරනු ලබන්නේ ස්වාමීන් වහන්සේගේ උත්ථානය ද, ඒ ආකාරයෙන්ම ස්වාමීන් වහන්සේගේ අභිරහස් වලට, කන්‍ය මරියතුමියට සහ ශුද්ධවරයනට ගෞරව කෙරෙන මූලික දේව වන්දනා මංගල්‍යයන් අනුස්මරණය කරමින් ශුද්ධවූ ලෙස ගත කරන්නටය. මේ සඳහා පළමු කොට ක්‍රිස්තියානි සංඝය ඒකරාශී වෙන දිව්‍ය සත්ප්‍රසාදීය භෝජනයට සහභාගීවීමටත්, මෙම දිනය ශුද්ධ ලෙස ගත කිරීමෙන් වලක්වාලන සියලුම වැඩ කටයුතු හා ක්‍රියාකාරීත්වයන්ගෙන් විවේක ගන්නටත් අපට නියම කරනු ලබයි. එම නිසා මෙම යුක්තිය හුදෙක් දිව්‍ය පූජාවට සහභාගීවීමෙන් හෝ දිව්‍ය පූජාවක් නැරඹීමෙන් පමණක් ඉටුකර ගත හැකි ඉතා සරල ක්‍රියාවක් නොවන බව ඉතා පැහැදිලිය.

මෙම ශුද්ධ වූ සභාවේ පණත් පදනම් කරගෙන සම්පාදනය වූ සාසන නීතිය ඉරිදා දිව්‍ය පූජාවට සහභාගීවීමේ ණය යුක්තිය ගැන සඳහන් කරන්නේ මෙසේය : 

~ අපෝස්තලික සම්ප්‍රදායට අනුව මුළු විශ්ව සභාවම ස්වාමීන් වහන්සේගේ දිනය, එනම් පාස්කු අභිරහස ස්මරණය කෙරෙන දිනය, ශුද්ධවන්තව ගත කළ යුතුය (නී.ව.1246).

~ ඉරුදින හා අනිකුත් ණය මංගල්‍ය දිනයන්හි සැදැහැවතුන් දිව්‍ය පූජාවට සහභාගීවීම අනිවාර්ය වේ. එසේම එදිනදී දෙවියන් වහන්සේට දිය යුතු වන්දනාව වලක්වන ක්‍රියාකාරකම් හා ව්‍යාපාර කටයුතුවලින් ද, මනසට හා කයට ලබාදිය යුතු නිසි විවේකය නැති කරන ක්‍රියාවලින් ද වැළකී සිටිය යුතුය (නී.ව. 1247).

~ දිව්‍ය පූජාවට සහභාගීවීමේ ණය යුක්ති ඉටු කළ හැක්කේ, එදිනම හෝ පෙරදින සවස්වරුවේ පැවැත්වෙන කතෝලික වන්දනා පිළිවෙත් වලට අනුව සිදුකෙරෙන දිව්‍ය පූජාවට සහභාගි වීමෙනි (නී.ව. 1248/1).

 ~ දිව්‍ය පූජාව පැවැත්වීම පියතුමකු නොමැති වීමෙන් හෝ වෙනත් බරපතල හේතුවක් නිසාවෙන් දිව්‍ය පූජාවට සහභාගීවීමට නොහැකි වුවහොත්, රදගුරු තුමා විසින් නියම කර ඇති ආකාරයට පැවැත්වෙන දේව වාක්‍ය මෙහෙයට සහභාගීවීම හෝ සෑහෙන කාලයක් තනිව හෝ පවුලක් හෝ පවුල් කණ්ඩායමක් වශයෙන් යාච්ඤාවේ යෙදීමට සැදැහැවතුන්ට නිර්දේශ කරයි.

ඉරිදා දිව්‍ය පූජාවට සහභාගීවීමේ ණය යුක්තියෙන් මිදෙන අවස්ථා මොනවාද? මහළු හෝ රෝගී අයට, එවැනි අයට උපස්ථාන කරන අයට, යම් කිසි බෝවන රෝගී තත්ත්වයකින් පෙළෙන අයට, ගංවතුර සුළි සුළං වැනි ස්වාභාවික ව්‍යසනයන් නිසා ගමන් පහසුව සපයා ගත නොහැකි අයට, ඉරිදා දිව්‍ය පූජාවට සහභාගීවීමේ ණය යුක්තියෙන් නිදහස් වේ. සමහර වයස 75 ඉක්ම වූ අයද මෙම ණය යුක්තියෙන් මිදෙන බව සඳහන් කළත් එය දුර්මතයක් වේ. වයස සීමාව කුමක් වුවත්, තමනට පවතින තත්ත්වය යටතේ ඉරිදා දිව්‍ය පූජාවට සහභාගී විය හැකි නම් එම තැනැත්තා එම ණය යුක්තියෙන් බැඳේ. එසේ ණය යුක්තියෙන් බැඳෙන අයට දිව්‍ය පූජාවට සහභාගීවීම ඇරෙන්නට වෙනත් ආදේශකයක් නොමැත. උදාහරණයක් ලෙස කෙනෙකුට රූපවාහිනියෙන් දිව්‍ය පූජාව නරඹා හෝ ගුවන් විදුලියෙන් දිව්‍ය පූජාවට සවන් දීමෙන් තම ණය යුක්තිය ඉටුකරගත නොහැක. 

කතෝලික ඉරිදා දිව්‍ය පූජාව සඳහා දේවස්ථානයට ඇතුල්වීමේ දී එම පුද්ගලයා දිව්‍ය පූජාවේ මුලසුන ගන්නා පූජකතුමා සමඟත්, රැස්ව සිටින සහභාගී වෙන්නන් සමඟත් පුද්ගලික සබඳතාවයකට ඇතුලත් වේ. ඒ අනුව දිව්‍ය පූජාවේ අගතැන්පත් අවස්ථා වන්නේ කිතුනු ජනතාවගේ එකමුතුකම ගෙනහැර දක්වන හා ජීවමාන කරවන දිව්‍ය සත්ප්‍රසාදීය භෝජනයට සහභාගී වීමයි.

රූපවාහිනියේ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය කෙතරම් ප්‍රබල වුවත්, එය සජීවී ක්‍රියාවලියක් හෝ අත්දැකීමක් නොව, විවිධ තාක්ෂණික මෙවලම් මඟින් ඉදිරිපත් කරන සැබෑ අවස්ථාවක අනුපිටපතක් පමණි. 

මේ ගැන ඉතා මනාව පැහැදිලි කිරීමක් කරන දෙවන ජුවාම් පාවුළු පාප්තුමා "ස්වාමීන් වහන්සේගේ දිනය" නැමැති අපෝස්තලික අනුශාසනා පත්‍රයේ මෙලෙස සඳහන් කරයි. "අසනීප හෝ වෙනත් අපහසුතාවයන් හෝ බරපතල හේතුවක් නිසා දිව්‍ය පූජාවට සහභාගීවීමට නොහැකි සැදැහැවතුන්ට එදිනට නියමිත දේව වාක්‍ය කියවා මෙනෙහි කිරීමෙන් දිව්‍ය පූජාවට සහභාගී වීමට ඇති ආශාව තුළින්, දුරස්ථව ඔවුනට දිව්‍ය පූජාවට සහභාගී විය හැක. ඇතැම් රටවල පූජනීය ස්ථානයක සිට රූපවාහිනියෙන් හෝ ගුවන් විදුලියෙන් ඉරිදා දිව්‍ය පූජාව සජීව විකාශනය කෙරේ. නමුත් මේ මඟින් ඉරිදා දිව්‍ය පූජාවට සහභාගීවීමේ ණය යුක්තිය ඉටුකරගත නොහැකි බව පැහැදිලිය. මන්ද දිව්‍ය පූජාවට රැස්වන ජනයා අතර ගොඩනැඟෙන එකමුතුකම හා දිව්‍ය සත්ප්‍රසාදීය සහෝදරත්වය මෙමඟින්  ගොඩනැඟෙන නිසාය. නමුත් දිව්‍ය පූජාවට සහභාගී විය නොහැකි හා සහභාගිවීමේ ණය යුක්තියට යටත් නොවන අයට, රූපවාහිනී හෝ ගුවන්විදුලි දිව්‍ය පූජාවන් ඉමහත් පිටුවහලක් හා අස්වැසිල්ලක් වේ. විශේෂයෙන් එවැනි අවස්ථාවලදී ඔවුනට නියමිත තේවාධරයෙකුගේ මාර්ගයෙන් දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබාදී එම සත්ප්‍රසාදීය සහභාගීත්වය ඇති කරගත හැකි නම්, එවිට ඔවුනට එය ස්වාමීන් වහන්සේගේ දිනය අත්දැකීමට හා එහි ඵල නෙලාගැනීමට හැකිවනු ඇත". 

දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ නැමැති මේ උතුම් දේව ප්‍රසාද නිධානය ගැන සඳහන් කරන සාසන නීතිය : "ක්‍රිස්තුන් වහන්සේගේ වැඩසිටින, පූජාවෙන් හා ලබාගන්නා වූ අති පූජනීය ප්‍රසාද නිධානය වන දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ මඟින් සභාව නිරන්තරයෙන්ම වර්ධනය හා ජීවමාන වන්නීය. ශතවර්ෂ ගණනක් තිස්සේ කුරුසියේ යාගය සදහටම සදාතනකරණීය කරමුන් ක්‍රිස්තුන් වහන්සේ මරණය හා උත්ථානය ස්මරණය කෙරෙන දිව්‍ය පූජාව ක්‍රිස්තියානි වන්දනාවේ හා ක්‍රිස්තු දිවියේ ප්‍රභව ස්ථානය හා අග්‍රස්ථානය වන්නේය. මෙමඟින් දේව ජනතාවගේ එකමුතුකම හඟවන හා ගෙනහැර දක්වන අතර, ක්‍රිස්තු දේහය ගොඩනැංවීම පූර්ණත්වයට පත් කරයි. අනිකුත් සෑම ප්‍රසාද නිධානයක් හා අපෝස්තලික සේවාවක්ම දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ වෙත සමීප සබඳතාවයක් කරා මෙහෙයවනු ලබයි" (නී.ව. 897)

එමනිසා දිව්‍ය පූජාවට සහභාගි වීමට හැකි අයත්, නොහැකි අයත් මෙම සහභාගීත්වය හුදෙක් ණය යුක්තියක් ලෙස පමණක් නොසලකා දිව්‍ය පූජාව හා දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ මඟින් තමන්ගේ කිතුනු දිවිය සත්ප්‍රසාදීය දිවියක් එනම් බෙදාගැනීමේ, සුහදතාවයේ, සහෝදරත්වයේ, සහජීවනයේ ජීවිතයක් කරගත යුතුය. 

මෙම ලිපිය ලිවීමට පාදක වූ ප්‍රශ්නය :

(පසුගිය දිනවල වර්බුම් කතෝලික රූපවාහිනී නාලිකාව මඟින් සිංහල භාෂාවෙන් විකාශනය කරමින් තිබූ දිව්‍ය පූජා යාගය කුමන හෝ කරුණක් නිසා අත්හිටු වීමත් සමඟම මෙම වැඩසටහන් නැරඹීමට පුරුදු වී සිටි කිහිප දෙනෙක් අප සමඟ කියා සිටියේ මේ තත්ත්වය යටතේ ඉරුදින ණය යුක්තිය ඉටුකර ගැන්මට නොහැකි වීම නිසා මරණීය පාපයක් සිදු වීම පිළිබඳව ඉතා කණගාටුවෙන් හා කනස්සල්ලෙන් සිටින බවය. බොහෝ විට මෙම තත්ත්වයට පත්ව ඇත්තේ, රෝගීව හෝ මහළුව ඉරුදින දිව්‍ය පූජාවට සහභාගීවීමට නොහැකියාවක් ඇති අය විය යුතුය. රූපවාහිනියෙන් හෝ වෙනත් කුමන හෝ ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍යයක් ඔස්සේ ඉරුදින ණය යුක්තිය ඉටුකරගත හැකි ද යන ප්‍රශ්නයට යම්කිසි පිළිතුරක් කරා සේන්දු වීම මෙම ලිපියේ මූලික පරමාර්ථය යි).

ගරු ප්‍රැන්සිස් නික්ලස් සේනානායක පියතුමා විසින් ඥානාර්ථ ප්‍රදීපය පුවත්පතට 2018 සැප්තැම්බර් 30 වැනි දා ලියන ලද ලිපියක් ඇසුරිනි.

සටහන:

#ධර්මෝපදේශය #Catechism#