BLANTERORBITv101

ලතින් පූජාව වලංගුද?



අදටත් කතෝලික සභාවේ නිල භාෂාව වන්නේ ලතින් භාෂාවය. ඒ අනුව අදටත් ශුද්ධාසනය විසින් නිකුත් කරන විශ්ව ලේඛන, අපෝස්තලික අනුශාසනා පත්‍ර හෝ වෙනත් නිල ලිපි ලේඛන වල භාවිතා කරන්නේ ලතින් භාෂාවය. ඉන්පසු අවැසිතා අනුව එම ප්‍රකාශන විවිධ භාෂාවලට පරිවර්තනය කරනු ලැබේ. ඒ අනුව එක්දාස් නමසිය හැටේ දශකය දක්වා දිව්‍ය පූජාව ද පැවැත්වූයේ ලතින් භාෂාවෙනි. එතුවක් කල් පැවති එකී ලතින් භාෂාව හඳුන්වනු ලැබුවේ ත්‍රිදෙන්තියානු පිළිවෙත යනුවෙනි. මන්ද එය අනුමත කරන ලද්දේත් ත්‍රිදෙන්තියානු මන්ත්‍රණ සභාව විසින්ය. කතෝලික සභා ඉතිහාසයේ ශතවර්ෂ ගණනක් තිස්සේ භාවිත කළේ මෙම පූජා පිළිවෙතයි. 

නමුත් 1960 දී මෙම පිළිවෙතේ වෙනසක් ඇති කිරීමට තීරණය කළ පාප්තුමා ඒ පිළිබඳ අදාළ බොහෝ අයගෙන් අදහස් විමසා අවසානයේ දෙවන වතිකාන මන්ත්‍රණ සභාවේ ඉගැන්වීම් අනුව දේශීය භාෂාවලින් පැවැත්වෙන දිව්‍ය පූජාවන් සඳහා පිළිවෙතක් අනුමත කරන ලදී. එමඟින් සිදු වුයේ දිව්‍ය පූජාව පවත්වන ආකාරයේ හා භාෂාවේ වෙනසක් මිස දිව්‍ය පූජා යාගයේ වෙනසක් නොවේ. මේ වන විට ලෝකයේ හැම රටකම පාහේ ඒ ඒ රටට ආවේණික භාෂාවන්ගෙන් දිව්‍ය පූජාව සිදු කරනු ලැබේ.

මේ තත්ත්වය යටතේ බොහෝ දෙනෙක් සාම්ප්‍රදායික ලතින් පූජාව මේ වන විට අවලංගු වී ඇති බවත්, එමඟින් දිව්‍ය පූජාවට සහභාගීවීමේ ණය යුක්තිය ඉටුකරගත නොහැකිය යන දුර්මතයට එළඹීමේ තත්ත්වය වෙනස් කරන්නට, දෙවන ජුවාම් පාවුළු පාප්තුමා හා දාසය වන බෙනඩික් පාප්තුමා කටයුතු කරමින්, වරින් වර ඒ පිළිබඳ ප්‍රකාශන නිකුත් කරමින්, අවසානයේ සෑම පූජාප්‍රසාදි තුමකුටම අවශ්‍යතාවයන් අනුව ලතින් භාෂාවෙන් ත්‍රිදෙන්තියානු පූජා පිළිවෙත භාවිතා කරමින් දිව්‍ය පූජා යාගය ඔප්පු කිරීමේ හැකියාව දානය කරන ලදී. එමනිසා එය අද වලංගු පූජා පිළිවෙතක් ලෙස සලකනු ලැබේ.

නමුත් මෙහිදී අප තේරුම් ගත යුතු තවත් වැදගත් කරුණක් වේ. ස්ව භාෂාවන්ගෙන් නව පිළිවෙත අනුව දිව්‍ය පූජාව පැවැත්වීම කෙරෙහි යම් යම් කණ්ඩායම් මුල පටන් විරෝධතාව දක්වන ලදී. ඒ අතරින් විශේෂ තැනක් ගන්නේ දසවෙනි පියුස් පූජක කණ්ඩායමයි. ඔවුන් වතිකාන මන්ත්‍රණ සභාවේ ඉගැන්වීම් ප්‍රතික්ෂේප කරමින්, නිල වශයෙන් සභාවෙන් වෙන් නොවුණද වෙනම සභාවක් වශයෙන් පසුගිය වසර ගණනක් තිස්සේ කටයුතු කරන ලදී. 

එක් අවස්ථාවක දී ඔවුන්ගේ නායකත්වය ගෙන කටයුතු කළ ලෙෆෙබ්‍රව් අගරදගුරුතුමා ශුද්ධාසනයේ අවසර නොමැතිව රදගුරුතුමන්ලා පත් කිරීමේ වරදට සභා නීති යටතේ සභා නෙරපීමකට ලක් විය. එතැන් පටන් මෙම කණ්ඩායම කතෝලික සභාවෙන් පිටත කණ්ඩායමක් ලෙස කරන ලදී. නමුත් පසුගිය කාලයේ ඔවුන් හා ශුද්ධාසනය අතර පැවති සාකච්ඡා නිසා, යම් යම් එකඟතාවයන් කරා පැමිණ තිබුණත්, එම කණ්ඩායමකට අයත් පූජක තුමන්ලාට දේව ප්‍රසාද නිධාන දානය කිරීමේ බලය නොමැත. එමනිසා එම කණ්ඩායමේ පූජකතුමන්ලා ලතින් භාෂාවෙන් පවත්වන දිව්‍ය යාගය අද වලංගු පිළිවෙතක් ලෙස කතෝලික සභාව පිළිගන්නේ නැත.

අතිගරු ප්‍රැන්සිස් නික්ලස් සේනානායක පියතුමා විසින් ඥානාර්ථ ප්‍රදීපය පුවත්පතට ලියන ලද ලිපියකි. 

සටහන:

#ධර්මෝපදේශය#Catechism#