කතෝලික පියතුමන් රටක ක්‍රියාත්මක වන දේශපාලනය හා සෘජුව සම්බන්ධ නොවිය යුතු යන්න බොහෝ කතෝලික බැතිමතුන්ගේ මතයයි. අද පවතින තත්ත්වය අනුව එසේ එතුමන්ලා දේශපාලනයේ නොයෙලීම කතෝලික පමණක් නොව අනෙකුත් ආගම් අදහන බැතිමතුන්ගේ ද ප්‍රශංසාවට ලක්වෙන අයුරු ඉතා පැහැදිලිය. නමුත් රටකි යම්කිසි දේශපාලනික හෝ වෙනත් සමාජයීය අර්බුදයක් හටගත් විට, සභාවේ ස්ථාවරය කුමක්ද, සභාව මේ සඳහා මැදිහත් නොවන්නේ මන්ද කියාත් ප්‍රශ්න කරන්නේ ද, කතෝලික පියතුමන්ලා දේශපාලනයට සහභාගී නොවිය යුතු යැයි කියන ගිහි සැදැහැවතුන්මය. මේ ප්‍රශ්නයට යම් කිසි පිළිතුරක් සොයා යන්නට නම් පවතින දේශපාලනය ගැන යම්කිසි අවබෝධයක් ලබාගැනීම වැදගත් විය හැක.
දේශපාලන න්‍යාය නැතහොත් දේශපාලන විද්‍යාව හා පවතින දේශපාලනය කියා දෙකොටසකට බෙදා වෙන් කිරීම නොකළ යුත්තක් වුවත්, පවතින තත්වය යටතේ එසේ නොකොට, කවර හෝ කෙනෙකු දේශපාලනය හා දැක්විය යුතු සබඳතාවය හා ආකල්ප තේරුම් ගැනීමේ හැකියාවක් නැත. දේශපාලනය පුළුල්ව විග්‍රහ කිරීමේදී, එය ජාතිකව හෝ අන්තර්ජාතිකව පොදු, ලෞකික හා කාලීන යහපත සොයා යාම සඳහා මිනිසාට උගන්වන හා උපකාරී වන විද්‍යාව ලෙස හැඳින්විය හැක. ඒ තුළ සමාජයක වෙසෙන හැම ජන කොටසකගේම මූලික ලෝකායත්ත වටිනාකම් ඉතා පැහැදිලිව නිර්වචනය කළ යුතු අතර, රටක ජනතාවට අවංක, සාධාරණ, සාමකාමී ජීවිත ගත කිරීමට අවැසි වාතාවරණයක් සලසමින් අනෛතිකත්වය, දිළිඳුකම, සාගින්න, නූගත්කම, රෝග බිය හා දූෂණය වැනි දුර්ගුණයන්ට එරෙහිව ජනතා සේවයේ යෙදෙන්නේ කෙසේදැයි කියා ජන නායකයින්ට නිර්නායකයන් පැහැදිලිව ඉදිරිපත් කිරීම නියම දේශපාලනය ලෙස හැඳින්විය හැක. ඒ අනුව බලන කල කතෝලික සභාවට මුළුමනින්ම දේශපාලනයෙන් ඈත්ව හුදෙකලාව සිටිය නොහැක්කේ ඇයගේ දූත සේවාව තුළ ද, මිනිසාගේ සතුට හා පූර්ව සංවර්ධනය ගැන සැලකිය යුතු අවධානයක් දක්වන නිසාය.
නමුත් අද පවතින දේශපාලනය මෙලෙස න්‍යායාත්මකව හෝ සදාචාරාත්මකව විග්‍රහ කිරීමට නොහැකි නිසා එයට දිය හැක්කේ එවැනි පුළුල් විග්‍රහයක් නොව ඉතා පටු අදහස් දැක්වීමක් පමණි. මන්ද අද මුළුමනින්ම වාගේ දේශපාලනය "පක්ෂ දේශපාලනය" බවට පත්ව ඇති නිසාය. එනම් ජනතාව කණ්ඩායම් ලෙස යම් යම් මතවාදයන් හා නිර්ණායකයන් ගොඩනඟාගෙන, දේශපාලන පක්ෂ ලෙස ඒවා ප්‍රතිපත්ති සංග්‍රහයන්ට ඇතුල් කරගෙන, එකී දේශපාලන පක්ෂවල නායකයින් සමඟ ආර්ථික, දේශපාලන හා සමාජීය ප්‍රශ්න නිරාකරණය කර ගැනීමට උත්සාහ කිරීම දේශපාලනය බවට පත්ව ඇති නිසාය.
නමුත් අද පවතින දේශපාලනය එසේ පුළුල් ලෙස හා න්‍යායාත්මකව හෝ ප්‍රායෝගිකව පටු ලෙස වත් විග්‍රහ කිරීමට හැකියාවක් නොමැති, එයිනුත් එහාට යන, යම් යම් පුද්ගලයින්ගේ මතිමතාන්තර මත පමණක් යැපෙන ජනතා අයිතිවාසිකම් හා පරමාධිපත්‍ය සම්පූර්ණයෙන්ම වාගේ පැත්තකට දමා දේශපාලකයින්ගේ අටුකොටු පුරවා ගැනීම සඳහා ජනතා කැමැත්ත බාල්දු කරන තත්ත්වයක් දක්වා පැමිණ තිබීම ඇත්තෙන්ම කණගාටුවට කරුණකි. එසේම අද බොහෝ රටවල සංවර්ධනය සඳහා දායක වියයුතු දේශපාලනය, එම රටේම පරිහානියට මූලික හේතුව බවට පත්වීම නිසා අනන්ත අප්‍රමාණ ලෙස පීඩාවට පත්ව ඇත්තේ අහිංසක රට වැසියන්ය. ජනතාවගේ ඡන්දයෙන් පත්වන ජනතා නියෝජිතයෝ, තමා නියෝජනය කරන දේශපාලන පක්ෂයේ ප්‍රතිපත්ති හා ඡන්ද දායකයින්ගේ වටිනා ඡන්දය කුණු කූඩෙට දමා, හිතූ හිතු මනාපයට තම පුද්ගලික වාසි තකාගෙන, පිල් මාරු කිරීම හා වෙන්දේසි වීම නිසා, රාජ්‍ය පාලනය ඉතා ව්‍යාකූල තත්ත්වයන් කරා ගමන් කරමින් සිටියි. මෙවැනි වාතාවරණයක් යටතේ කතෝලික සභාව හා දේශපාලන සමාජය අතර ගොඩනඟාගත හැකි සබඳතාවය කුමක්ද?
සභාව සතු වන්නේ හා නියෝජනය කරන්නේ ජාතියක හෝ ජනතාවක ශීල ධාර්මික නැතිනම් සදාචාරාත්මක හෘද සාක්ෂිය යි. එමනිසා සභාව හැම විටම පෙනී සිටින්නේ හා පෙන්වා දෙන්නේ සමාජයක තිබිය යුතු හරි වැරදි මොනවාද, යහපත අයහපත මොනවාද යන්නයි. මෙහිදී කතෝලික සභා සමාජ දර්ශනය හා ඇගේ දිවැසි දූත සේවාව, විටෙක සමහර දේශපාලනික න්‍යායන් පක්ෂ සමඟ මත භේදයන්ට හෝ එකිනෙකට විරුද්ධ වීමට සිදුවිය හැක. ඒ අනුව සභාවේ විවේචනයන්ට කෙලින්ම ලක් වන අය සභාවට විරුද්ධ විය හැක. නමුත් එවැනි අවස්ථාවන්හිදී ඔවුන්ගේ විරුද්ධවාදීන් සභාව පසසනු ඇත. අවසානයේ භේද භින්න වන්නේ අන් කිසිවකු නොව සභා මාතාවගේ දරුවන්මය. මේ පක්ෂ දේශපාලනයේ ස්වභාවයයි. අද දේශපාලනය ජනතා නියෝජනයේ නොව නියෝජිතයින්ගේ පුද්ගලික බූදලයක් වී හමාරය.
නමුත් මූලික මානවීය අයිතිවාසිකම් උල්ලංඝනය කරන, මිනිසාගේ නිදහසට බාධා කරන රජයන්ට හා දේශපාලනික න්‍යායන්ට එරෙහිවීමට හා විරුද්ධව අදහස් ප්‍රකාශ කිරීමට සභාව කිසි විටෙකත් පසුබට නොවිය යුතුය. අසාධාරණය පිටුදැකීම ධර්මදානයේ මූලික ලක්ෂණයකි.
දේශපාලන සමාජය හා සභාව අතර තිබිය යුතු සබඳතාවය කුමක්දැයි කියා හොඳින් අවබෝධ කරගැනීමට නම්, ජේසුස් වහන්සේ එදා තමන් ජීවත් වූ දේශපාලනික සමාජය දෙස බැලුවේ කෙසේද? එදා උන්වහන්සේ ඒ හා සමඟ ගොඩනඟාගත් සබඳතාවය කුමක්දැයි හොඳින් වටහා ගැනීම උත්සාහ කිරීම ඉතා වැදගත් වේ. එදා උන්වහන්සේ අයත් වූයේ හා ජීවත් වූයේ යටත් විජිතවාදී දේශපාලනය නිසා හෙම්බත් වූ සමාජයකය. ඒ සෙනඟගේ එකම බලාපොරොත්තු වූයේ තරුණ, ජවසම්පන්න නායකත්වයක් යටතේ රෝම අධිරාජ්‍යය හා සටන් වැදී මුළු ඊශ්‍රායෙල් දේශයන එක්සේසත් කර ගත හැකි රාජ්‍ය පාලනයකි. ඒ වන විටත් ඒ සඳහා සටන් වැදි විමුක්තිකාමී පිරිස් තැනින් තැන රහසිගතව ක්‍රියාත්මක විය. පීඩාකාරී; කලහාකාරී වාතාවරණයක් යටතේ ජේසුස් වහන්සේ තම දූත සේවාව ආරම්භ කිරීමට යන්නේ යැදුමෙන්, නිරහාරශීලයෙන් හා භාවනාවෙන් පිය දෙවිඳුන්ගේ සැලැස්ම අවබෝධ කර ගැනීම සඳහා පාළුකරය වෙතටය. එහිදී උන්වහන්සේට අවැසි වූයේ ජනතාව උසි ගන්වමින් දේශපාලනික හෝ සමාජීය විප්ලවයක් ඇති කිරීම නොව, හුදෙකලාව, සමාජයෙන් වෙන්ව, පාළුකරය තුළ දේව කැමැත්ත විමසා බැලීමය.
එසේ පාළුකරයට යන ජේසුස් වහන්සේ සටන් අරඹන්නේ දේශපාලන රටාව සමඟ නොව අයහපත බලවේගයන් වන සාතන් සමඟය. උන්වහන්සේ යුධ ප්‍රකාශ කරන්නේ මානව සමාජය විනාශ මුඛය කරා ගෙන යමින් තිබෙන දූෂිත මිනිස් හැසිරීම් වලට එරෙහිවය. බලය, ධනය හා කීර්තිය වැනි දේශපාලකයින්ව වෙලාගෙන ඇති සියලු විෂමතාවයන් හා අනර්ථකාරී දුෂ්ට බලවේගයන් ඉදිරියේ, යැදුමේ හා නිරාහාරශීලයේ බලයෙන් ප්‍රතාපවත්ව නැඟී සිටින උන්වහන්සේ, "සාතන් පලා යව'යි කියමින් සියලු යක්ෂ බලවේගයන් පරාජය කරමින් තමන් වහන්සේගේ දූත සේවාව බාර ගන්නට පාළුකරයේ සිට නැවතත් උන්වහන්සේ ජනවාසයට පැමිණි සේක.
එසේ පැමිණි උන්වහන්සේ කිසිම ලෙසකින්වත් කිසිම දේශපාලන බලවේගයකට ගැතිකම් නොකොට, යටත් නොවී, එක් අතකින් අධිරාජ්‍ය ගැතිකම් කරන බදු අය කරන්නන්, තව පැත්තකින් සමාජ පිළිලයක් බවට පත්ව සිටි පව්කාර ස්ත්‍රීන් ඇසුරු කරමින්, ඒ සමඟම කොරුන්, අන්ධයන් වැනි සමාජයේ අහිංසක පීඩා විඳින්නන් සුවපත් කරමින් ජනතාව තම පියාණන් වෙත ලඟා කර ගැනීමට හැකි අධ්‍යාත්මික මාර්ගය පෙන්වා දීමට දේශනා කරමින් ප්‍රසිද්ධ ජීවිතය ගත කළ සේක.
මේ පසුබිම යටතේ දේශපාලන කරළියේ කතෝලික පියතුමන්ගේ භූමිකාව කුමක්දැයි තේරුම් ගැනීම අපට එතරම් අපහසු නැත. පවතින පක්ෂ දේශපාලනය තුළ පියතුමෙකුට කෙසේවත් තම පූජක කැපවීම මත ක්‍රිස්තුන් වහන්සේව සමාජය තුළ නියෝජනය කිරීමේ හැකියාවක් නැත. මන්ද පූජකතුමා කිසිම දේශපාලනික න්‍යායක හෝ පක්ෂයක නියෝජිතයකු නොව, දෙවියන් වහන්සේගේ පණිවුඩය ලොවට ගෙන යමින් දේශපාලනය විසින් මෙහෙයවනු ලබන ලෞකික ලෝකයෙන් එහා ලෝකෝත්තර දිවියක් සඳහා ජනතාව මෙහෙයවන එඬේරෙකි, නායකයෙකි, සේවකයෙකි.
මේ හේතුව නිසාම සාසන නීති සංග්‍රහයේ 285 වැනි නීති වගන්තියේ තුන්වෙනි උප වගන්තියේ කතෝලික පූජක තුමන්ට සිවිල් පාලනයට සම්බන්ධ නිලතල දැරීම තහනම් කර ඇත. එසේම නීති වගන්ති 287 මඟින් පූජකතුමන්ට පක්ෂ දේශපාලනයේ නිරත වීමත් තහනම් වේ. සභාව නිතරම සාසනික හා සිවිල් බලය අතර දුරස්ථ බව පවත්වාගෙන යාමට උත්සහ කරන්නේ, ඉතිහාසයෙන් උගත් පාඩම් වලට අනුව, මේ බලවේග දෙක එක් වූ තැන, ගොඩනැඟෙන අසීමිත බලය නිසා, එය ජනතාවට හා පොදු යහපතට අන්දරයක් විය හැකි නිසාය.
නමුත් කතෝලික පූජකතුමාට දේශපාලනික ජීවිතයට බලපාන විවිධාකාර සාරධර්මයන් ඉදිරිපත් කරමින්, ලෞකික සමාජය වඩා යහපත් හා සාධාරණ ස්ථානයක් බවට පත් කිරීම සඳහා අවැසි සුවිශේෂක වටිනාකම් දේශනා කිරීමේ නිදහස ඇත. දෙවන ජුවාම් පාවුළු පාප්තුමා වරෙක පැහැදිලිව කියා සිටියේ ක්‍රියාකාරී දේශපාලනය ගිහි ජනතාව සඳහා වෙන් කළ යුතු බවයි.
කතෝලික පියතුමන් ක්‍රියාකාරී දේශපාලනයේ යෙදී යුත්තේ ජනතාවගේ හා නායකයින්ගේ ආකල්ප වෙනස් කරගැනීම මඟින් සිත් හැරීමක් තුළින් නිසි දේව කැමැත්ත අවබෝධ කර ගැනීමට සහය වීම තුළිනි.
අතිගරු ප්‍රැන්සිස් නික්ලස් සේනානායක පියතුමා විසින් 2019 පෙබරවාරි 17 වන දා ඥානාර්ථ ප්‍රදීපය පුවත්පතට ලියන ලද ලිපියකි.
සටහන:
#ධර්මෝපදේශය#Catechism
0 Comments