පළමු කොටස කියවීමට මෙතැනින්
අනාගතයට පෙරහුරුවක්
1674 ගෝවේ සිටි අගරදගුරු තුමන් ස්වර්ගස්ථ වූ අතර, ජුසේ වාස් පියතුමා එය කැනරාවෙන් ආපසු අවස්ථාවක් ගත්තේය. කැනරාවේ සිටි කාලයේදී ශ්‍රී ලංකාව පැමිණිය හැකි ක්‍රම ගැන විමසිල්ලෙන් සොයා බැලීමට ජුසේ වාස් පියතුමා අමතක නොකළේ කෙසේ වුවද ඉහතදී සඳහන් ආකාරයට කැනරාවේ සිටි කාලය තම බලාපොරොත්තුව ඉටුකර ගැනීමට බාධාවක් වීමට වඩා එයට හොඳින් සූදානම් වීමට ලැබූ අවස්ථාවක් විය. ශාසනික පාලනය ධර්මදූත කටයුතු සංවිධානය පිළිබඳව මනා දැනුමක් ලබාගැනීමට එම කාලය ඉවහල් විය. ආපසු ගෝවට පැමිණි ජුසේ වාස් පියතුමාට ශාසනික සේවාවක් නොපැවරුණ අතර එවැන්නක් ලබා ගැනීමට එතුමා අපේක්ෂා නොකළේය එතුමාගේ සිත තුළ පොරකමින් තිබු එකම ආශාව වූයේ ලංකාවට පැමිණීමය.දේව හස්තය නැවතද වරක් ජුසේ වාස් පියතුමන් කෙරෙහි ඉතා බලවත් ලෙස ක්‍රියා කරන්නට විය. එතුමන් කෙසේ හෝ ශ්‍රී ලංකාවට පැමිණියද එතුමන්ගෙන් පසු තවත් කිසිවෙකු එතුමන් අනුගමනය කරමින් ලංකාවට නොපැමිණිය හොත් තත්ත්වය පෙරසේම වනු ඇත. අගරදගුරු තුමන්ගේ අනුග්‍රහය මත ලංකාවට සැපත් වුවද, එතුමා ඉදිරියේදී තවත් පුජාප්‍රසාදිවරුන් ලංකාවට එවාවිද යන්න ගැන ස්ථිරතාවයක් නැත. එසේ නම් මෙම ගැටලුවට හොඳම පිළිතුරු පැවිදි නිකායක් හා සම්බන්ධ වීමයි. එයද විදේශීය සුදු ජාතික පූජකවරුන්ගෙ න් සමන්විත වූවක් නොව දේශීය නිකායන් වීම වැදගත් සාධකයක් වනු ඇත.
ශ්‍රී ලංකාව වෙනුවෙන්ම වූ පූජක සමූහයක්
බෝ ආ විස්ටා කන්ද මත ප්‍රාතිහාර්යාත්මක සිරි කුරුසියට කැප කරන ලද දේවස්ථානයට යාබද පැරණි ගොඩනැගිල්ලක පැවිදි දිවියක් ගත කරමින් සිටි සමුහයක් විය. එම සමුහය මහලු වියට පත් පූජාප්‍රසාදිවරුන් තුන්දෙනෙකුගෙන් හා එක් උප තේවාචාර්යවරයකුගෙන් සමන්විත වූයේය. මහලු වියට පත්ව සිටි ඔවුනට තම අධ්‍යාත්මික දිවිය කැපවීමකින් යුතුව ගතකරනු විනා කළ හැකි අන් දෙයක් නොවීය. ජුසේ වාස් පියතුමන් ශ්‍රී ලංකාවේ අනාගත කතෝලික සභාවට පූජකවරුන් බිහි කරන දේව හස්තය දුටුවේ මේ කුඩා පිරිස තුළය.
ජුසේ වාස් පියතුමන්ව මෙම සමුහයට ඉමහත් ආදරයෙන් පිළිගත්තා පමණක් නොව, එහි ප්‍රධාන පූජකතුමත් විසින් එක් විටම ප්‍රධාන පූජක නිලය ද එතුමන්ට පිරිනමනු ලැබීය. ජුසේවාස් පියතුමන් මෙම පූජක සමුහයට ඇතුළත් වූ දිනය වශයෙන් සලකන්නේ 1685 සැප්තැම්බර් මස 25 දිනය. ජුසේ වාස් පියතුමන් ඒ වන විටත් විශිෂ්ඨ ධර්ම දූතයෙකු මෙන්ම ශුද්ධවන්ත භාවයෙන් පිරි පුජාප්‍රසාදි තුමකු ලෙස නමක් දිනා සිටි හෙයින් එතුමත් එම සමූහයට එක් වීම එහි සියල්ලන්ටම මහත් බලාපොරොත්තු ගෙන දෙන්නක් වූයේය. ජුසේ වාස් පියතුමන්ගේ කීර්තිය නිසාම නොබෝ දිනකින් තවත් දෙදෙනෙකු සමූහයට එක්වීම නිසා සමුහය හය දක්වා වැඩි වර්ධනය විය.
පූජක සමූහයේ නව ප්‍රධානියා වූ ජුසේ වාස් පියතුමා තවත් කල් නොයවා, සමූහය සංවිධානය කිරිමත් පැරණි ගොඩනැගිල්ල අලුත්වැඩියා කිරීමත් ඇරඹීය. තම අධ්‍යාත්මික පියතුමාගේ අදහස අනුව ජුසේ වාස් පියතුමා කළේ නමක් නොතිබුණ මෙම සමූහය සමග නව පැවිදි නිකායක් ආරම්භ කරනු වෙනුවට සභාවේ එවකට පැවති පුජක සමූහයක ව්‍යවස්ථාව ගුරු කොට ගනිමින් තම සමූහය ගොඩ නැගීමය.මේ සඳහා ජුසේ වාස් පියතුමන් තෝරා ගත්තේ ශාන්ත පිලිප්නේරි තුමන්ගේ ඔරතෝරියානු ව්‍යවස්ථාවය. එයට පෘතුගාලයේ ලිස්බත් නුවර පිහිටි ඔරතෝරියානු සමුහයේද අනුමැතිය ලැබුණි.
තමාට ශක්ති පමණින් පැරණි ගොඩනැගිල්ල අලුත්වැඩියා කර, නව සාමාජිකයන් බඳවා ගැනීම ආරම්භ කළ ජුසේ වාස් පියතුමා එයට ගැඹුරු අධ්‍යාත්මික ජීවිතයක පදනමක් ද සකස් කළේය. එහෙත් මේ සියල්ල මැද තමාගේ ශ්‍රී ලංකා ගමන සඳහා ක්‍රමානුකුළව සූදානම් වීමට ද ජුසේ වාස් පියතුමා අමතක නොකළේය. විටින් විට ආරාමයෙන් බැහැරව යමින් ධර්ම දේශනයෙහි ද, ජනතාව හමුවීමෙහිද නියැලුන හෙයින් ජුසේ වාස් පියතුමන් ආරාමයෙන් පිටතට යාම සාමාන්‍ය දෙයක් ලෙස එය දකින අය විසින් සැලකීය. එහෙත් ජුසේ වාස් පියතුමාට නම් තමා කරන සියල්ලෙහි යම් සැඟවුණු අරුතක් ගැබ්ව තිබුණි.
ගමනක ආරම්භය
1686 මාර්තු මාසයේදී ජුසේ වාස් පියතුමන් තම ආරාමයෙන් පිට වූයේ වෙනදා මෙන් ධර්ම දේශනා වල නියැලී සැදැහැවතුන් මුණ ගැසී අපසු ඒමට නොවන බව දැන සිටියේ ජුසේ වාස් පියතුමා හා පස්කෝලේ පියතුමන් පමණකි. පස්කෝලේ පියතුමන් යනු ජුසේ වාස් පියතුමන් මෙම පැවිදි සමූහයට ඇතුළත් වෙද්දී එහි සිටි ප්‍රධාන පුජකතුමාය. එම පියතුමාට පමණක් තම සිත තුළ නලියන රහස හෙළි කළ ජුසේ වාස් පියතුමා අලුතින් ස්ථාපිත කළ ඔරතෝරියානු පූජක සමූහයේ නායකත්වය නැවත භාර ගැනීමට ද එතුමාව කැමති කරවා ගත්තේය.
ජුසේ වාස් පියතුමන් විසින් තම ගමනට තවත් තිදෙනෙකු සම්බන්ධ කර ගත්තේය. ඒ අලුත් පුජක සමූහයට මුලින්ම එක් වූ පෝල් ද සුසා පියතුමන් හා සික්වෙයිරා නමැති සහෝදර නමත් සකෝලේ ග්‍රාමයේ වාස් පවුලේ විශ්වාසවන්ත සේවකයකු වූ ජෝන් නමැත්තාය. සුපුරුදු පරිදි ධර්මදූත කාර්යයෙහි යෙදෙමින් ජුසේ වාස් පියතුමා හා පිරිස කැනරාව හරහා ගමන් කර 1687 ජනවාරි මාසයේදී මලබාරයට ළඟා වූහ. තම ගමනේ සැබෑ පරමාර්ථය කුමක්දැයි ජුසේ වාස් පියතුමා තමා සමග යාමට කැඳවා ගෙන ආ තිදෙනාට හෙළි කළේ මෙසේ මලබාරයට පැමිණීමෙන් පසුවය. එහෙත් ලන්දේසි පීඩනයට යටත්ව තිබූ. තමන් කිසිත් නොදන්නා දේශයකට යාමට බියවූ පෝල් පියතුමා හා සිවෙයිරා සහෝදර තුමා, ජුසේ වාස් පියතුමාගෙන් අවසර ගෙන ආපසු ගෝවට ඒමට පිටත් වූහ. ජෝන් නමැති සේවකයා පමණක් එතුමා සමග නතර වූ හෙයින් ඔහුත් සමඟ ගමන් ඇරඹු ජුසේ වාස් පියතුමා පළමුව කොචින් නගරයටත්, එතැනින් ක්විලොන් නගරයටත් සම්ප්‍රාප්ත වූහ. මෙහිදී පියතුමා හා ජෝන් නතර වූ ජේසු නිකායික විද්‍යාලයේ පියවරුන්ගේ අවවාදය වූයේ තමන්ගේ අරමුණ ගැන කිසිවකුටත් නොකියන ලෙසය. එම අවවාදය අනුව උඩුකය නිරාවරනය කොට ගනිමින් දණහිස දක්වා පමණක් රෙදි කඩක් හැඳ ඉන්දීය කුලී කරුවකු සේ වෙස් වලාගත් ජුසේ වාස් පියතුමා 1687 මාර්තු මාසයේ දී ටියුටරින් කරා සැපත් විය. ටියුටරින් හි සේවය කළ ජේසු නිකායික පියතුමා තමා සමග ගෝවේ ශාන්ත පාවුලු විද්‍යාලයෙහි ඉගනගත් මිතුරකු වූ හෙයින්, ජුසේ වාස් පියතුමාට එතුමා සමඟ නතර වීමට හැකි විය. කෙසේ වුවද මෙහිදී ජුසේ වාස් පියතුමාට යම් අනපේක්ෂිත ගැටලුවකට මුහුණ පෑමට සිදු වූයේය.
දුර දිග නොබලා කළ ක්‍රියාවක්
මෙතෙක් වෙස් වලාගෙන සිටි ජුසේ වාස් පියතුමා ලෝගුවන් සැරසීම අන්තරාකාරී නොවේ යයි සිතා තම මිතුරු පියතුමාගේ ද අදහස අනුව දෙදෙනා එක්වී පාස්තු දිව්‍ය පූජා මෙහෙය පැවැත්විය.සැබවින්ම එය වැඩිදුර සිතා නො කළ අදුරදර්ශී ක්‍රියාවක්ම විය. මෙතෙක් වෙස්වලා ගෙන සිටියේ කතෝලික පූජකතුමකු බව අන් අය දැනගත් අතර එම ආරවිය ටියුටිකරීන් හි ලන්දේසි නිලධාරියාට ද දැනගන්නට ලැබුණි. මෙසේ වෙස්වලා ගෙන සිටින්නට ඇත්තේ ලංකාවට යාමට යන සැකය ඔහුට මතුවූයෙන් ශ්‍රී ලංකාවට යන කිසිම නැවකට හෝ එහි මගීන්ට නම් පුද්ගලික අනුමැතියෙන් තොරව එසේ නොකළ හැකි බවට නියෝගයක් පැනවිය.සැබවින්ම මෙම සිද්ධිය ජුසේ වාස් පියතුනේ මෙතෙක් ඉතා උවමනාවෙන් සැලසුම් කළ සියල්ල කැඩී බිඳී විසිරී යාමක් බඳු විය. එතුමා තම සැලැස්ම කෙසේ හෝ ඉටුකර දෙන ලෙස ඉල්ලමින් බලවත් ලෙස දෙවියන් වහන්සේට කන්නලව් කිරීමට පටන් ගත්තේය. අනපේක්ෂිත ලෙස හදිසියේම බලවත් ලෙස රෝගාතුර වූ ලන්දේසි නිලධාරියා මරණයට පත් වූ අතර, ඔහු වෙනුවෙන් අලුතින් පත්වූයේ ඉහත නිලධාරියා විසින් ශ්‍රී ලංකාවට යන සියල්ලන් තම පුද්ගලික අනුමැතිය ලබාගත යුතු බවට නියෝගයක් පැනවීමට හේතුව ගැන කිසිත් නොදන්නා නිලධාරියෙකි.මෙම අවස්ථාවෙන් වහා ප්‍රයෝජන ගත් ජුසේ වාස් පියතුමා යාපනයට ගොස් කුලීකරුවකු සේ සේවය කිරීමට අවසර ලබාගත් අතර, එසේ අවසර ලබාගත් දෙදෙනා කතෝලික පූජකතුමකු හා ඔහුගේ සේවකයා බව සැක කිරීමට නව නිලධාරියාට කිසිදු හේතුවක් නොවීය. මෙලෙස දේව හස්තය මගින් කොළඹට යාම වළක්වාලමින් ආරක්ෂක මෙහෙයුම් අඩු යාපනයට යාමට ජුසේ වාස් පියතුමා මෙහෙයවිය. ටියුටිකරින් සිට යාපනය දක්වා පැමිණීමට ගතවන්නේ දින තුනක් හෝ හතරක පමණ කාලයකි. එහෙත් යම් ආපදාවකට මුහුණ දීමට සිදු වුව හොත් එය සතියක් පමණ විය හැකිය. එහෙත් සිදු වුයේ බලාපොරොත්තු නොවූ දෙයකි. හදිසි කුනාටුවකට හසුවීම නිසා නැවට කෙසේවත් යාපනය කරා ළඟා වීමට නොහැකි විය. ඒ වෙනුවට දින විස්සක් තිස්සේ නැව් එහා මෙහා පැද්දෙමින් මුහුද මැද පාවෙන්නට විය. තමන් ළඟ කිසිදු ආහාරයක් නොවූ හෙයින් පළමු දින කීපයේදී අන් මගින් ගෙන් යම් ආහාරයක් ඉල්ලා ගැනීමට ජුසේ වාස් පියතුමාට හා ජෝන්ට හැකි වුවද, දැන් නැවේ සිටි සියල්ලෝම ආහාර හිහයෙන් පෙළෙන්නට වූ නිසා තමන් ළඟ යම් ආහාරයක් තිබු ටික දෙනා පවා එය බෙදා ගැනීමට අකමැති වූහ. මෙලෙස ජුසේ වාස් පියතුමන්ට හා ජෝන්ට සිදු වූයේ දින ගණනාවක් මුළුමනින්ම කුසගින්නේ සිටීමටය. මේ වන විට නැවද බොහෝ සෙයින් විනාශ වී තිබුණි. මේ නිසා කුනාටුව සංසිඳීමත් සමග නැවට සිදු වූයේ යාපනය කරා යාම නොව සමීපව තිබූ මන්නාරම වෙත ළඟා වීමයි.
ජුසේ වාස් පියතුමන් මන්නාරමට ළඟාවීම හිතා මතා කළ දෙයක් නොව මෙලෙස ඉබේ සිදු වූවකි. එතුමන්ට උවමනා වූයේ මන්නාරමට නොව යාපනය වෙත ළඟා වීමය. එහෙයින් දින කීපයක් සිඟමන් යැදීමෙන් ලබාගත් ආහාරයෙන් ශක්තිමත් වූ වහාම කළේ ඊළඟට පැමිණ ලන්දේසි නැවකින් යාපනය කරා යාමය, එකම රටේ නැව් කොටසින් තවත් නැව් තොටක් කරා යාම නිසා ජුසේ වාස් පියතුමන්ව හා ජෝන්ව විමසිල්ලකට භාජනය කිරීමත් නොවීය.යාපනයට ළගා වුවද දැන් ජුසේ වාස් පියතුන්ට ප්‍රශ්නය වූයේ නවාතැන් ගැනීම පිණිස ස්ථානයක් සොයා ගැනීමය. ජුසේ වාස් පියතුමා ගෙවල් කීපයක් අසල තිබූ කුඩා මඩුවක නතර වූයේ එහෙයිනි.
මරණය අභියස
එහෙත් මෙහිදී ජුසේ වාස් පියතුමන්ට බලාපොරොත්තු නොවූ තත්ත්වයකට මුහුණ පාන්නට සිදුවිය.එනම් යාපනයේ පවතින තද උෂ්ණත්වය මෙන්ම නිසි ආහාරයක් නොලැබීම නිසා තදබල පාචනය රෝගයකට මුහුණු දීමය. ලන්දේසින් කෙරෙහි බියෙන් පසු එහි වැසියෝ නන්නාඳුනත අමුත්තන් දෙදෙනෙකු තම නිවෙස් අසල මඩුවක නැවති සිටීම ගැන එතරම් ප්‍රසාදයක් නොවූ අතර ඔවුන් දෙදෙනාගෙන් එක් අයකුට පාවනය හැදී ඇති බව දැනත් විගස ඔවුන් ගැන වඩාත් බියට පත්වූහ. නිසා ඔවුන් කළේ ජුසේ වාස් පියතුමාව පැදුරක තබා ඔසවා ගෙන ගොස් අසල කැලෑ පෙදෙසක ගසක් මුලට ගෙනගොස් දැමීමය. මෙලෙස මහත් අසරණභාවයට පත් ජුසේ වාස් පියතුමාට ජෝන් නම් සේවකයා විසින් නගරයේ සිඟමන් යැද ආහාර ල දුන්නද, එයද වැඩි දිනක් නොකළ හැකි වූයේ ඔහුද පාචනය රෝගයට ගොදුරුවීම නිසාය.
දේව හස්තය ජය ලබමින්
කුසට ආහාරයක් හෝ පෙලුන රෝගයට කිසිදු ප්‍රතිකාරයක් නොලත් ජුසේ වාස් පියතුමාට හැගී ගියේ තමා මරණය කරා ළඟාවෙමින් සිටින බවකි.එහෙත් දේව හස්තය මේ මොහොතේත් එතුමන් තුළ බලවත්ව ක්‍රියා කරන බව පෙණුනි. දර කැඩීම පිණිස කැලයට ගිය මහලු කාන්තාවක් ජුසේ වාස් පියතුමා දැක සිත තුළ ඇති අනුකම්පාව නිසා දිනපතා කැඳ කෝප්පයක් ගෙනැවිත් එතුමාට හා ජෝන්ට පිළිගැන්වීය. එයින් යම් ශක්තියට මෙන්ම සුවය ලැබූ ජුසේ වාස් පියතුමන් තවත් බලා නොසිට තම ධර්මදූත කාර්යයෙහි නිරතවන්නට වූයේය. දිවා කාලයෙහි සිඟමන් යෙදුණ එතුමන්, එය හොර රහසේම කතෝලිකයන් සොයා ගැනීමේ උපක්‍රමයක් ලෙසටද හරවා ගත්තේය. තමා නැවතී සිටි මඩුව සමීපව වු නිවෙස් වල වැසියන් කතෝලිකයන් බවට ජුස් වාස් පියතුමන් තුළ තදබල හැඟීමක් තිබිණි.ඒ ගැන වඩාත් උනන්දුවෙන් විපරම් කළ එතුමාට තමාගේ අදහස නිවැරදි බව වැටහී ගියේය. එපමණක් නොව නැවත නැවතත් තම නිවෙස් අසල රැඳෙරින් සිගමින් යදින මේ අමුත්තා කතෝලික පූජකකුද යන ප්‍රශ්නය එහි වූ වැසියන් ගෙන් කිහිප දෙනෙකු තුළද මතුවී තිබිණි.නිසි අවස්ථාව ලද කෙනෙහිම ජුසේ වාස් පියතුමන් කළේ තම කරේ පැළඳ සිටි ජපමාලය ඔවුන්ට පෙන්වමින් ඔහු කවරෙක්ද යන්න ඔවුනට හෙලිකිරීමයි.සිගමන් ඉල්ලු වස්වලාගත් අමුත්තා කතෝලික පුජකතුමකු බව දැනගත් වහාම ඔවුන් තුළ ඇතිවූයේ බිය මුසු පුදුමයක් මෙන්ම කිව නොහැකි තරම් ප්‍රීතියකි.
දහම් සේවය අරඹමින්
වසර ගණනාවක් දිව්‍ය පූජාවට සහභාගි වීමක් හෝ වෙනත් කිසිදු සක්‍රමේන්තුවක් ලබා ගැනීමට නොහැකිව සිටි අයගෙන් ඉතාමත් විශ්වාසවත් කීපදෙනෙකුට එදින රාත්‍රියේම සමගි සන්ධානයේ සක්‍රමේන්තුව ගැනීමටත් දිව්‍ය පූජාවට සහභාගි වී දිව්‍ය සත්ප්‍රසාදය ලබාගැනීමටත් හැකි විය. යාපනයේ කතෝලිකයනට ව ගණනාවක් නොතිබූ මහත් භාග්‍යයක් උදාවී ඇත. එහෙත් ඔවුන් ඉදිරියේ ඇති අභියෝගය සහ වගකීම ඊටත් වඩා වැඩිය. එක් අතකින් සැම විටම මහත් විමසිල්ලෙන් සිටින ලන්දේසි නිලධාරීන් ගෙන් ජුසේ වාස් පියතුළ රැක ගත යුතුය. අනෙක් අතින් පුජක තුමකු සඟවා තබා ගැනීම තමාගේ ජීවිතයද අනතුරට භාජනය කර ගැනීමකි. කෙසේ වෙතත් ඔවුන්ගේ වැඩි අවධානය යොමු වූයේ ජුසේ වාස් පියතුමා ලන්දේසීන් අතට අසුවී ඉඩ නොලබා ආරක්ෂා කර ගැනීමය.
ජුසේ වාස් පියතුමන්ව ආරක්ෂා කරගත යුතුව ඇත්තේ ලන්දේසීන් ගෙන් පමණක් නොවේ.ඕලන්ද රෙපරමාදු ධර්මය වැළඳගත් රට වැසියන්ගෙන් හා යම් යම් වරප්‍රසාද පතා කතෝලික ධර්මය අතහැර දමා සිටි එතුමන්ව පාවා දිය හැකි අය ගෙන්ද එතුමාව සඟවා තබා ගත යුතුව ඇත. මෙය යාපනය නගරය තුළ නම් කෙසේ වූ නොකළ හැකි දෙයකි.ඉතා ඉක්මනින් පූජක වරයකු පැමිණ සිටින ආරාචිය ඔවුන්ගේ කනට යාම නොවැළැක්විය හැක්කකි.එහෙයින් කතෝලික විශ්වාසයෙහි ස්ථිර පිරිසක් ජීවත් වන යාපනයෙන් පිටත තැනක් සොයා යන යුතුය.ජුසේ වාස් පියතුමන් වෙනුවෙන් එවැනි තැනක් සොයා ගැනීම එතරම් අපහසු කරුණක් නොවීය.
ජුසේ වාස් පියතුමන්ට මෙතෙක් දිවි නොතකා රැක බලාගත් පිරිස එතුමන්ව ගෙන ගියේ යාපනය නගරයෙන් පිටත පිහිටි භක්තිවන්ත කතෝලිකයන් පිරිසක් ජීවත්ව සිටි සිල්ලාලේ නමැති ග්‍රාමය වෙතය. එය සැබවින්ම කෙනෙකුට පහසුවෙන් ළඟා විය නොහැකි ආරක්ෂිත ස්ථානයක් වූයේය. නිවසක පිටුපස වෙනමම කොටසක සැගවී සිටිමින් ජුසේ වාස් පියතුමන් වසර දෙකක් තිස්සේ ධර්ම පිපාසයෙන් පෙලුණු යාපනයේ කතෝලිකයන් අතර ධර්ම සේවාවෙහි යෙදුණේ මෙම සිල්ලාලේ ග්‍රාමයේ සිටය.
• • • මතු සම්බන්ධයි • • •
[උපුටා ගැනීම සඟ ලොව කරා - ගරු.ජයලත් බලගල්ලේ පියතුමා]
~ විශේෂ ස්තූතිය සුපුන් පෙරේරා
0 Comments