BLANTERORBITv101

පේදුරු තුමාගේ ශුද්ධාසනය මංගල්‍යය | CATHEDRA PETRI



පෙබරවාරි 22 දා ඇත්තේ අමුතුම මංගල්‍යයකි. එය ආසනයක මංගල්‍යයකි. පුටුවකට මංගල්‍යය පැවැත්වීමේ අරුත කුමක්දැයි කෙනෙකුට සිතෙන්නට පුළුවන. කුමක්ද මේ ආසනය ?

පේදුරු තුමාගේ ශුද්ධාසනය යනුවෙන් අදහස් කෙරෙන්නේ සාන්ත සභාව තුළ එතුමාගේ භූමිකාවය. ආසනය යනු නිල බලයේ බාහිර සංකේතයයි. එයින් හැගවෙන්නේ නායකත්වය හෝ ධූරයයි. ඒ අනුව අපි මෙදින සිහිපත් කරන්නේ පේදුරු තුමාට ජේසුස් වහන්සේ පැවරූ නිල බලයයි. වෙනත් අයුරකින් කියතොත් සාන්ත සභා නායකත්වය හෙවත් පාප් තනතුරයි.

පේදුරු මත සභාව පිහිටවූ කිතු සමිදෝ එහි නායකත්වය (යතුරු ) එතුමන්ට පැවරූ සේක. තම රැළ රැකබලාගෙන, එය පෝෂණය කර එයට යහපත් එඩේරෙක් වන ලෙස උන්වහන්සේ පේදුරු ගෙන් ඉල්ලූ සේක.

මේ අනුව අපි මෙදින සිහිපත් කරන්නේ විශ්වීය නායකත්වය හෙවත් ක්‍රිස්තුස්ස්ථානින් වහන්සේ (Vicar of Christ) ලෙස පාප් තුමා දරණ සුවිශේෂී භූමිකාවයි.

පේදුරු හට පවරන ලද නායකත්වය සුවිශේෂී බව පැහැදිලිය. ජේසුස් වහන්සේ සමග සිටියදීම පේදුරු මෙම නායකත්වය පෙන්වූ අවස්ථා එමට දැකිය හැක. නමුත් එය වඩා පැහැදිලිව විද්‍යාමාන වන්නේ මුල් සංඝය තුළය. ජේසුස් වහන්සේ කළ දෑ පේදුරු තුමාද කළේය. 

# එතුමා අපෝස්තුලුවරුන් පත්කළේය.

# එතුමා මළවුන් නැගිටුවේය.

# රෝගින් සුව කළේය.

# දේශනා කළේය.

# ඉගැන්වූයේ ය.

අපෝස්තුලුවරුන්ගේ ක්‍රියා පොත පුරාවටම එතුමාගේ නායකත්වය ඉතා පැහැදිලිව පිළිබිඹු වේ. එතුමා අධිරාජ්‍යයේ අගනුවර වූ රෝමයේ දී තම මෙහෙවර සම්පූර්ණ කළ බැව පොදු පිළිගැනීමයි. එතැන් පටන් රෝමයේ රදගුරු ලෙස නායකත්වයට පත්වන්නා නිතැතින්ම එතුමාගේ අනුප්‍රාප්තිකයා ලෙස සැලකේ (Successor of St. Peter) මේ අනුව අද මංගල්‍යය මගින් අපි සිහිපත් කරන්නේ කිතු සමිදුන්ගේ සභාවේ එඩේරික නායකත්වයයි.

පේදුරු තුමන්ගේ ආසනය ලෙස සම්ප්‍රදායිකව පිළිගැනෙන ඉපැරැණි දැවමුවා ආසනයක් වර්තමාන සාන්ත පීතර බැසිලිකාවේ ප්‍රධාන පූජාසනයේ ලෝහමය ම‍ංජුසාවක තැන්පත් කොට ඇත. 

රෝමයේ පුරවරයේ වතිකාන රාජ්‍යයේ විරාජමානව වැජඹෙන සාන්ත පීතර මහ බැසිලිකා දේවස්ථානය 1506 දී වැඩ අරඹා 1626 දී සම්පූර්ණ කරන ලද්දකි. ක්‍රි.ව. 4 වන සියවසේ දී ශු. පේදුරු තුමාගේ සොහොන් ගැබ මත ඉදිකරන ලද ඉපැරැණි දේවස්ථානය ගරා වැටෙමින් තිබූ නිසා වර්තමානයේ දිස්වන මෙම සුවිසල් බැසිලිකාව ගොඩනංවන ලදි. 

මේ බාහිර සංකේතය මඟින් සනිටුහන් වන්නේ ක්‍රිස්තුස් වහන්සේ විසින් පිහිටුවන ලද ශුද්ධවු සභාවයි.

~ මාධව ජයකොඩි