BLANTERORBITv101

ආත්ම සහකරුවන් ගැන ඔබ දන්නවාද?

ජීවිතේ කවමදාක හරි අහලා තියෙනවාද ආත්ම සහකාරයන් (Soul Mates) ගැන. කිසිම කායික එකතු වීමකින් තොරව මැරෙනකන් එකිනෙකාට ආදරේ කරන මිනිස්සු ගැන අහලා තියෙනවාද? එහෙම අය ජීවත් වෙනවා, අපි වගේම මැරිලා යනවා. නමුත් ඔවුන්ගේ ආදරේ සදාකාලිකයි. 

සාන්ත ෆ්‍රැන්සිස් හා සාන්ත ක්ලෙයාර්

පැවිද්දන්ට ප්‍රේම සම්බන්ධතාවක් තියාගන්න පුළුවන්ද? 

බැහැ, සත්තකින්ම කතෝලික සභාවේ නීතී අනුව එක කරන්න බැහැ. නමුත් ආදරණීය ලෙස ජීවත් වෙන්න පුළුවන්. ආත්ම සහකරුවන්ව හෙවත් soul matesලා ලෙස හදවතේ තියාගෙන ඉන්න පුළුවන්. සරලවම කිව්වොත් St.Francis ආදරේ කළා St.Clare ට මහා පුළුල් හදවතකින් එකිනෙකට මැරනකන්ම ආදරේ කළා. මේ ඒ කතාවයි. 

සාන්ත  ෆැන්සිස්  හා සාන්ත ක්ලේයාර් 12 වන සියවසේ ඉතාලියේ අසීසියේ ජීවත් වී ශුද්ධ ජීවත ගත කොට දෙවියන් ළඟට ගිය දෙදෙනකි. මොවුන්ගේ ජීවිත කතාව තුළ සැඟවුණු ආදර කතාව ඔවුන්ගේ ජීවිත කතාවට තවත් අර්ථයක් සැපයුවා. ෆැන්සිස් හා ක්ලෙයාර් දෙවියන් වහන්සේ ඔවුන්ට සේවය සඳහා කතා කරන තුරු ආදරයෙන් සතුටින් ජීවත් වුණා. ඔවුන් එකිනෙකට අපමණ ලෙස ආදරේ කළා. එක වහලක් යට තමන්ගේම පවුල් හදාගෙන ජීවත් වෙන්න හීන දැකපු ආදරණීය පෙම්වතුන් වුණා. නමුත් එලෙස ඔවුන්ට තමන්ගේ ආදරණීය අනාගතය වෙනුවෙන් හීන දකින්න හම්බුනේ දෙවියන් වහන්සේ ඔවුන්ට සේවයට කතා කරන තුරු පමණී. එකම එක දවසක ෆැන්සිස්ට ජීවිතේ වෙනසක් වීගෙන එනවා දැනුණා. ඔහුට දෙවියන්ගේ ආදරේ දැනුණා. ජේසු ගිය පාරේ යන්න ඕන වීමක් වුණා. ෆැන්සිස් තීරණයක් ගත්තා. ඒ ක්ලෙයාර් එක්ක එක වහලක් යටට එනවා කියලා නම් නෙමෙයි, දෙවියන් වහන්සේට සේවය කරන ජේසු ගිය කැපකිරීමේ මාර්ගයේ යන්න. දුප්පතුන්, පීඩිතයන් වෙනුවෙන් අඬන්න, කැපවෙන්න, ඔවුනට සේවය කරන්න ෆැන්සිස් තීරණය කළා. 

එතකොට ක්ලෙයාර්ට මොකද වෙන්නේ? 

මම පෞද්ගලිකව විශ්වාස කරනවා ෆැන්සිස් වෙනස් වන්න පටන් ගත්තු දවසේ ක්ලේයාර් ෆැන්සිස්ගේ අතින් ඇදලා නවත්තගත්තා නම් ෆැන්සිස් කවදාවක්වත් දේව සේවය කරන්න යන්නේ නැහැ. ඒ වගේම ඔහුට දෙවියන් වහන්සේගේ කැඳවීම භාර ගන්න වෙන්නත් නැහැ. මන්ද ඕනෑම පිරිමි කෙනෙක් පාලනය කරන්න තරම් ගැහැණු හිත් හයියයි, ශක්තිමත්. නමුත් ෆැන්සිස්ගේ මේ වෙනස් වීමත්, දේව සේවය කිරීම සඳහා කැපවෙන්න ඔහුට අවශ්‍ය බවත්, ක්ලේයාර් ට දැනුණු වේලෙම ආදරවන්තයන්, පෙම්වතුන් ලෙස ඔවුන් ගොඩනගා ගත් හැම හීනෙටම ඇය සමු දුන්නේ ෆැන්සිස් ඒ ගැන කියන්නත් කලින්මයි. ක්ලෙයාර් කිසිම මොහොතක ෆැන්සිස්ට චෝදනා කළේ නැහැ. “ඔයා මාව රැවැට්ටුවා, ඔයා ඔයා ගැන විතරයි හිතන්නේ, ඔයා තෝරගන්නේ මාවද? දෙවියන්වද? ” වැනි ප්‍රශ්න ඇය ෆැන්සිස්ගේ අසන්නට ගියේ නැති වන්නට ඇත. ඒ නිසාම ඔහුට දරුණු වේදනාවකින් තොරව ඇයව කායිකව අත් හැරීමට හැකි වන්න ඇත. ඇයත් ඔහුට ඉතා සුන්දරව යන්නට දුන්නේ ඔහුගේ ගමනට හදවතින්ම සුභ පතමිනි. එලෙස ෆැන්සිස්ගේ වෙනස් වීම නිසා වෙන්ව යන ඔවුන්ගේ ආදරේ කතාව බිඳ වැටෙනවා වෙනුවට සිදු වුයේ රහසිගතව තව තවත් ශක්තිමත් වීමකී. එකිනෙකාට තමන්ගේ පාරේ යන්න දෙමින් අයිති කරගැනීමකින් තොරව ආදරේ කිරීමකි. 

එසේ ෆැන්සිස් ක්ලේයාර්ගේ ආශිර්වාදය සමඟම දේව සේවය සඳහා කැපවුණා. ඔහු කතෝලික සභාවේ අඩුපාඩු නිවැරදි කරමින් හරියාකාරව ජේසුගේ ආදරේ ජනතාවට දෙන්න උත්සහ කළා. කතෝලික ඉහළ තනතුරු වල සිටින පුජකවරු රාජාසන වල වැජඹෙන යුගයක ෆැන්සිස් මහ වනාන්තර, ගංඟාවන්, දුෂ්කර මාවත්, කටු මාවත් තුළින් ඇවිද ගොස් පීඩීත ජනතාවට, දුක් විදින ජනතාවට සේවය කළා. ඔවුන්ට හයියක් වුණා. ෆැන්සිස්ගේ මේ අපුරු දේව සේවය දැකපු ක්ලේයාර් එක දිනක රාත්‍රීයේ දැඩි තීරණයකට එළඹෙනවා. ඒ මෙතෙක් ඇය විදපු තෘප්තිමත් සැපවත් ජීවිතේ නැවත්වීමට. San Damanio කන්‍යා සොයුරියෝ සමඟ එකතු වී අධ්‍යාත්මික ජීවිතයක් ගත කිරීමට ඇය තීරණය කළා. ක්ලෙයාර් ඉතා රූපවත් ලස්සන කාන්තාවක්. ඇගේ දිලිසෙන ඇස් හා දිගු කොණ්ඩේ ෆැන්සිස් මෙන්ම බොහෝ පිරිමින් ආශා කළ දෙයක්. නමුත් එක් දිනක රාත්‍රීයේ ඇය ගත් තීරණය ෆැන්සිස්ට රහසේම හමු වී කියන ලදී. එදිනම ෆැන්සිස්ගේ අතින්ම ෆැන්සිස් ආදරය කළ ඇගේ කොණ්ඩය සම්පුර්ණයෙන්ම කපා ඇයව San Damanio නිකායේ කන්‍යා සොයුරියක් බවට පත් කරනවා. ඒ 1212 දීය. 

ක්ලේයාර් කන්‍යා සොයුරියක් වුණේ ෆැන්සිස් නිසාද ? 

නැත. ක්ලේයාර්ට ෆැන්සිස් පුර්ව ආදර්ශයක් වන්නට වෙන්න ඇති. ගිහි ජීවිතේ සැපවත් මොහොතවල් වලට වඩා දෙවියන්ට සේවය කිරීම සදකාලික සතුටක් කියලා හිතුණ එක ඇයට ෆැන්සිස්ගේන් ලැබුණු පුර්වාදර්ශයක් වන්නට ඇතී. නමුත් ඇයට ෆැන්සිස් සමඟ සීටීමට මාර්ගයක් කිසිසේත් නොවීය, කන්‍යා සොයුරියක් වීමට ගත් තීරණය. මන්ද ඕනෑ තරම් ලෝකය එක්ක ගැටී හැප්පී දේව සේවය කරන කන්‍යාරාම තිබියදී ඇය තෝරගත්තේ ජීවිත කාලයම නිකාය කුටියට වී යාච්ඤාවේ ජීවිතයක් ගත කිරීමටය. ඇයට පිටතට ඒමට නොහැකි සේම පිට සිටින්නන්ට ඇයව හමු වීමටද නොහැකිය. එම නිසා නිගමනය කළ හැක්කේ ඇය එවැනි නිකායකට බැඳීමට තීරණය කළේ සැබෑ ලෙස ක්ලේයාර්ට ජේසුව අවශ්‍ය නිසා බවයි. ජේසුට ආදරේ කළ නිසායි. 

දැන් සියල්ල සම්පුර්ණයි. ඔවුන් සතුටින් ය. 

නැහැ එසේ නැත. දැන් තමයි ඔවුන්ට අමාරුම කාලය එළඹෙන්නේ. ක්ලේයාර් ඇතුළු වන්නේ යාච්ඤාවේ ජීවිතයකට, අධ්‍යාත්මික ජීවිතයටය. ඇයට නිකායෙන් එළියට ඒමට හා පිටත් අය සමග සම්බන්ධතා පැවැත්වීමට නොහැකි විය. ඒ නිසා ක්ලේයාර්ට ෆැන්සිස්වත්, ෆැන්සිස්ට ක්ලේයාර්වත් දකින්න ලැබෙන්නේ නැහැ එතන් සිට. පසු කාලීන ලියැවුණු බොහෝ ග්‍රන්ථ වල සඳහන් වන්නේ ක්ලේයර්ගේ හිතේ තිබුණු පුංචි ආසාවක් ය ෆැන්සිස් එක්ක එක්ව ආහාර වෙලක් ගන්න. නමුත් ඇයට ඒක උදාකර ගැනීමට නොහැකි වූ බව, ඒ පුංචී හීනයවත් ඉටු කර ගැනීමට නොහැකි වූ බව ඇතැම් ලිපි වල දක්වනවා. ඇතැම් අවස්ථාවලදී ෆැන්සිස්ට දේව සේවයේ ගැටුම් ප්‍රශ්න එන විට ක්ලේයාර්ට ඒ වෙනුවෙන් අයදින්න යැයි සඟයන්ගේ අතේ පණිවිඩ එවූ බව සදහන් වෙනවා. ඔහු විශ්වාස කළා ඔහු දුර්වල වූ විට ඔහුව ශක්තිමත් කළ හැකි කාන්තාව ක්ලේයාර් බව.  එලෙසම  ක්ලේයාර්ට ෆැන්සිස් මිය යන විට ඔහු ළඟ සිටීමට අවශය විය. ෆැන්සිස්ටද අවශ්‍ය වුයේ ජීවිතේ අවසාන මොහොතේ ඇය අසල ගත කිරීමටය. නමුත් ක්ලේයාර්ට තම නිකායේ නීතී කඩා නිකාය ගෘහයෙන් එළියට පැමිණීමට නොහැකි විය. ඒ නිසා ෆැන්සිස් තමන් මිය යෑමට ආසන්න බව දැනුණු විට ක්ලේයාර් සිටි කන්‍යාරාමයේ තාප්පය අසල  සදාගත් කුඩාරමක සිටි අතර එහීදීම ඔහු මිය ගිය බව ඇතැම් ලිපි වල දක්වයි. 

ඔවුන් පැවිදි ජීවිතයට පැමිණි පසු එකිනෙකා හමුවී ඇත්තේ ඉතාම අල්ප මොහොතවල් ගණනකි. බොහෝ විට ක්ලේයාර් සිටි නිකායේ විදුරු කවුළුවෙන් ෆැන්සිස්ව දුටු අවස්ථා පමණක් ඇති බව ඇතැම් රචකයෝ ප්‍රකාශ කරනවා. C.S. Lewis නම් දේවධර්මවේදීයා ප්‍රකාශ කරන්නේ අපි හැමෝමටම ආදරේදී තීරණයක් ගන්න පුළුවන්. ෆැන්සිස් සහ ක්ලේයාර් ද ඒ තීරණය ගත්තා. ඒ ඔවුන් එකිනෙකා වෙනුවෙන් ජීවත් වීමක් නෙමෙයි, ලෝකය වෙනුවෙන් ජීවත් වීමකි. මම පෞද්ගලිකව විශ්වාස කරනවා ෆැන්සිස්ට අනර්ඝ වූ දේව සේවාවක් කිරීමට ක්ලේයාර්ගේ නිහඬ ආදරය අපමණ හේතුවක් වෙන්න ඇති. එලෙසම ක්ලේයාර් විසින් පැවිදි ජීවිතයට පැමිණීම නිසා ෆැන්සිස්ට එය වඩාත් ශක්තියක් වන්නට ඇති. ඔවුන්ගේ ආදරේදී අයිති කරගැනීමක් නැහැ. එකිනෙකා සමඟ කායික එකතු වීමක්වත් අයිතිවසිකම් කියා තමන්ගේ කර ගැනීමක් නැත. ඔවුන් අඩුම තරමේ එකිනෙකා දුටුවේවත් නැති තරම් ය. නමුත් ඔවුන් තම තමන්ගේ දේව සේවය තුළින් එකිනෙකාට ආදරය කළා. ඒ අනුව සාන්ත ෆැන්සිස් හා සාන්ත ක්ලේයාර් ගේ එකිනකාට තිබූ ඒ ශුද්ධ වූ ආදරයත්, ජේසුට තිබූ ශුද්ධ වූ ආදරයත් ඔවුන්ව දෙවියන් තුළට නිසැකයෙන් ඔසවා තබන්න ඇති. 

St. Francis සහ St.Clare පමණිද ආත්ම සහකරුවන් වන්නේ ක්‍රිස්තීයානි ඉතිහාසයේ? 

නැහැ, තවත් බොහෝ අය ඇති. නමුත් ග්‍රන්ථ වල සඳහන් වන්නේ St.Paul හා St.Thelka, St.Boniface හා St.Leoba ගැන පමණී. ඔවුන් ද ආධ්‍යත්මිකව බැදුණු ආදරවන්තයන් හා ආත්ම සහකරුවන් වූ අතර ඔවුන් සමහරෙක් මරා දමන ලද්දේ මධ්‍යකාලීන යුගයේදීය. 

ආදරය සදාකාලිකය, එය අධ්‍යාත්මිකය, එය එකිනෙක දැක නොමැතිව කටහඬවත් නොඅසා පවා මැරෙනකන්ම ආදරේ කළ හැක. එහි අයිති කරගැනීමක් නැත; තමන් තමන් වීමක් පමණී ඇත්තේ. විශ්වාස කරන්න ජේසු තුළ සිටිමින් එකිනෙකාට ආදරේ කිරීම මහා අනර්ඝයි. 


– තරුෂි දිශාරා 

දෙවන වසර, නීති පීඨය

Catholic Students' Movement, University of Colombo 

Victory Through Christ's Love