BLANTERORBITv101

ශක්තිය මැවීමට හෝ නැසීමට නොහැකි බැවින් මැවුම්වාදය බිඳවැටෙනවාද? - කොහෙත්ම නැත!

විශ්වයට නිශ්චිත ආරම්භයක් හෝ අවසානයක් නැති බවත්, එය අනන්ත කාලයක සිට පැවත එන බවත් විශ්වාස කරන බොහෝ දෙනා තවමත් අප අතර සිටිති.ඔහුන් ඒ සඳහා ඉදිරිපත් කරනුයේ තාපගති විද්‍යාවේ පළමු නියමයෙන් ගම්‍යමාන වන කරුණුය. එනම් විශ්වයේ ඇති ශක්තිය නියතයක් බවත්, එම ශක්තිය මැවීමට හෝ නැසීමට නොහැකි බවත් සහ කළ හැක්කේ එම ශක්තිය තවත් ශක්ති ප්‍රභේද බවට පරිවර්තනය කිරීම පමණක් බවත්ය.එය සත්‍යයකි. තාප ගති විද්‍යාවේ පළමු නියමය යනු ස්වභාව ධර්මයේ ඇති වඩාත් වලංගු නීති වලින් එකකි.එසේම එමඟින් ගම්‍යමාන වන ඉහත කරුණුද ස්වභාව ධර්මය තුළ ඉතා ඉහළ වලංගුතාවයකින් යුක්තය.

නමුත් එමඟින් මැවුම්වාදය මඟින් ගම්‍යමාන වන කරුණු, එනම් විශ්වයට නිශ්චිත ආරම්භයක් හා නිශ්චිත අවසානයක් ඇති බව යන්න බිඳහෙළීමට නොහැකිය.මෙහිදී ඇති ලොකුම ගැටළුව වන්නේ එය මැවුම්වාදයට මරු පහරක් යැයි සිතන අයගේ විද්‍යා දැනුමේ ඇති අවප්‍රමාණයයි.වර්තමානය වනවිට සෑම අවුරුද්දක් පාසාම ඇමෙරිකාවේ ටයිම්, නිව්ස්වීක් වැනි සඟරාවන් විසින් විශ්වයේ සම්භවය හා එහි ඉරණම පිළිබඳව බොහෝ කරුණු ඉදිරිපත් කරයි. නමුත් අපට එහිදී ඔහුන් විශ්වය සදාකාලිකවම පැවත එන බවට තර්ක කරන එකදු වාර්තාවක් වත් අඩුම තරමේ සොයා ගැනීමට නොහැකිය.එයට හේතුව වන්නේ තාප ගති විද්‍යාවේ දෙවැනි නියමය මඟින් විශ්වයට නිශ්චිත ආරම්භයක් හා නිශ්චිත අවසානයක් ඇති බව තහවුරු කරන ඉතා පැහැදිලි අදහසක් ගම්‍යමාන වන බව නූතන විද්‍යාඥයින් විසින් දැනටමත් දන්නා බැවිනි.

🕳️ තාපගති විද්‍යාවේ දෙවන නියමයෙන් ගම්‍යමාන වන කරුණු මොනවාද?

තාපගති විද්‍යාවේ දෙවන නියමය මඟින් තාපගති විද්‍යාවේ පළමු නියමය කිසිදු අයුරකින් අහෝසි කිරීමක් සිදු නොකරයි.ඒ වෙනුවට එමඟින් තාප ගති විද්‍යාවේ පළමු නියමය තවදුරටත් පුළුල් ලෙස කියවීමකට භාජනය කරයි.එසේම තාප ගති විද්‍යාවේ දෙවැනි නියමයද එහි පළමු නියමය මෙන්ම ස්වභාව ධර්මය තුළ ඉතා ඉහළ වලංගුතාවයකින් යුක්තය.

තාප ගති විද්‍යාව යනු පදාර්ථ හා ශක්තිය පිළිබඳ අධ්‍යයනයයි.එසේම තාපගති විද්‍යාවේ දෙවැනි නියමය මඟින් පෙන්වා දෙන්නේ විශ්වයේ පවතින "භාවිතයට ගත හැකි ශක්තිය" ( usable energy ) ක්‍රමයෙන් නැතිවී යන බවයි.මේ ගෙවන හැම තත්පරයක් පාසාම විශ්වයේ පවතින භාවිතයට ගත හැකි ශක්තිය අවප්‍රමාණය වෙමින් පවතියි.එලෙසම භාවිතයට ගත හැකි ශක්තිය මෙලෙස අවප්‍රමාණය වීමෙන් එය අවසන් වූ විට විශ්වයට මියයාමට සිදුවනු ඇත.එනම් අපගේ විශ්වයට කවදාක හෝ ඉන්ධන අවසන් වීමෙන් නතර වූ වාහනයකට අත්වන ඉරණමට පත්වීමට සිදු වනු ඇත.

🕳️ ඉතින් ඇයි? විශ්වයට ආරම්භයක් තියෙනවා කියලා තාපගති විද්‍යාවේ දෙවැනි නියමයෙන් පෙන්වන්නේ කොහොමද?

හොඳයි, මෙහෙම හිතන්න: තාප ගති විද්‍යාවේ පළමු නියමයෙන් ප්‍රකාශ කර සිටින්නේ විශ්වයේ ඇති මුළු ශක්ති ප්‍රමාණය නියතයක් බවයි.වෙනත් වචන වලින් කියතොත් විශ්වයට ඇත්තේ සීමිත ශක්තියක් පමණි.එය හරියට ඔබේ වාහනයේ ඇති සීමිත ඉන්ධන ප්‍රමාණයට සමාන කළ හැකිය.ඔබේ වාහනයට ඇත්තේ නියත හා සීමිත ඉන්ධන ප්‍රමාණයක් නම් සහ එය බලගන්වා ඇති සෑම මොහොතකම එම ඉන්ධන ප්‍රමාණය අවප්‍රමාණය වේ නම් සහ මේ වනවිටත් ඔබ එම සීමිත හා නියත ඉන්ධන ප්‍රමාණයෙන් ඔබේ වාහනය ධාවනය කරමින් සිටියි නම් ඔබ ඔබේ වාහනය බල ගන්වා ඇත්තේ අනන්ත කාලයකට පෙරද? නැත, කොහෙත්ම නැත! එය එසේ වූවා නම් මේ මොහොත වනවිට ඔබේ වාහනයේ ඉන්ධන ප්‍රමාණය අවප්‍රමාණය වීම නිසා එය ක්‍රියාවිරහිත විය යුතුව තිබේ.ඒ ආකාරයෙන්ම විශ්වයද නිශ්චිත ආරම්භයක් නොමැතිව සදාකාලයේ සිටම ක්‍රියාත්මක වූයේ නම් මේ වන විට එහි භාවිතයට ගත හැකි ශක්තිය නැති වී යනු යුතුව තිබේ.නමුත්, මෙන්න! තවමත් අපේ විදුලි පහන් දැල්වෙමින් පවතී, එබැවින් අපේ විශ්වයට සීමිත අතීතයේ නිශ්චිත ආරම්භයක් තිබිය යුතුය.විශ්වය සදාකාලික නොවන්නේ එබැවිනි.

🕳️ වයින් කරපු ඔරලෝසුව හා විශ්වය?

තාරකා විද්‍යාඥ්‍යයෙකු වන රොබට් ජස්ට්රෝව් විසින් විශ්වය වයින් කරන ලද ඔරලෝසුවකට සමාන කරයි.මක්නිසාද වයින් කරන ලද ඔරලෝසුවක් ක්‍රමයෙන් පිරිහීමට ලක්වී ක්‍රියාවිරහිත වී නතර වේ. එවිට නැවත කවුරුන් විසින් හෝ එය වයින් කළ යුතුය.එලෙසම තාප ගති විද්‍යාවේ දෙවැනි නියමය එන්ට්‍රොපිය පිළිබඳ නියමයක් ලෙසද අර්ථ දැක්විය හැකිය.එනම් ඉන් කියැවෙන්නේ විශ්වයේ පවතින සියලු දේ ක්‍රමවත් බවේ සිට අවුල් සහගත බවකට ගමන් කරමින් පිරිහීමට ලක්වෙමින් පවතින බවයි. කාලයත් සමඟ, මේ සියල්ල ස්වභාවිකවම බිඳ වැටේ.ඔබේ මෝටර් රථය දිරා යයි; ඔබේ ගෙදර

කඩා වැටෙයි; ඔබේ ශරීරය වයස්ගත වීමත් දුර්වල වෙයි.එන්ට්‍රොපිය පිළිබඳව සත්‍යය ඔබට බස් නැවතුම් පොළකට වී බසයක් පැමිණෙන තුරු බලාගෙන සිටින මිනිසුන් දෙස බැලීමෙන් වුවද නිරීක්ෂණය කිරීමට හැකිය.ඔහුන් බසයක් එනතුරු එකම ඉරියව්වෙන් එක දිගට සිටින ආකාරයක් කිසිමදාක ඔබට නිරික්ෂණය කිරීමට හැකිද? ඒ වෙනුවට ඔහුන් තමන් සිටින ඉරියව්ව මොහොතින් මොහොත වෙනස් කර ගනිමින් පෙර පැවති ඉරියව්ව අවුල් සහගත කර ගනිමින් සිටින බවක් ඔබට දැකබලා ගැනීමට හැකි වනු නොඅනුමානය.

තාප ගති විද්‍යාවේ දෙවන නියමයේ මෙම අංගයද අපට පවසන්නේ විශ්වයට නිශ්චිත ආරම්භයක් තිබූ බවයි.මක්නිසාද විශ්වය සතුව තවමත් යම් ක්‍රමවත් බවක් හා සංවිධානයක් ඉතුරු වී ඇති බව අපට නිරීක්ෂණය කිරීමට හැකිය.එයින් අදහස් වන්නේ විශ්වය තවමත් සම්පූර්ණයෙන්ම අවුල් සහගත බවකට පත්ව නොමැති බවයි.එනම් විශ්වය සතුව තවමත් භාවිතයට ගත හැකි ශක්තියෙන් කොටසක් ඉතිරිව ඇති බවයි.නමුත් විශ්වය අනන්ත කාලයක සිට පැවත එන්නේ නම් එන්ට්‍රොපිය නිසා විශ්වය මේ වනවිටත් අවුල් සහගත වී සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් තිබිය යුතුය.නමුත් තවමත් විශ්වයට එවැනි ඉරණමක් අත්වී නොමැති බැවින් විශ්වයට ඇත්තේ සීමිත අතීතයේ නිශ්චිත ආරම්භයක් බවට අපට නිගමනය කිරීමට සිදුවේ.

එසේම තාපගති විද්‍යාවේ දෙවැනි නියමයේ ඇති සුවිශේෂී බව එය මේ තරම් නිරවද්‍ය ආකාරයට තහවුරු කර නොගත් යුගයේදී පවා, එනම් මීට වසර 80 කට පමණ පෙර කාලයකදී පවා විද්‍යාඥයින් විසින් ඉතා වැදගත් නියමයක් ලෙසින් සලකා ඇත.තාරකා විද්‍යාඥයෙක් හා විද්‍යාව පිළිබඳ කීර්තිමත් දාර්ශනිකයෙකු වූ සර් ආතර් ස්ටැන්ලි එඩින්ටන්ගේ සාක්ෂියද එයට ඉතා හොඳ නිදසුනකි;

"එන්ට්‍රොපිය වැඩි කරන නියමය - තාප ගති විද්‍යාවේ දෙවන නියමය - මම හිතන්නේ, ස්වභාව ධර්මයේ නීති අතර උත්තරීතර ස්ථානය දරයි.විශ්වය පිළිබඳව ඔබ විශ්වාසය තබා ඇති ඔබේ න්‍යායන් මැක්ස්වෙල් සමීකරණ සමඟ එකඟ නොවන්නේ නම් ඔබට මැක්ස්වෙල් සමීකරණ වෙනුවට තවත් බොහෝ දේ විකල්ප ලෙස ඇත.නමුත් ඔබේ න්‍යාය තාප ගති විද්‍යාවේ දෙවැනි නියමය සමඟ එකඟ නොවූවහොත් එය ගැඹුරුතම නින්දාවකට කඩා වැටීම හැරුණුකොට වෙනත් කිසිදු බලාපොරොත්තුවක් මට නම් ඔබට ඒ සඳහා ලබාදීමට නොහැකිය".

මතු සම්බන්ධයි!

අදේවවාදීන් සමඟ සිනාසෙමු