BLANTERORBITv101

භාග්‍යවත් කාර්ලෝ ඇකියුටිස් මුනිතුමා


වර්ෂ 1991 මාර්තු 3 දින ඉතාලියේ රෝමානු කතෝලික පවුලකට දාව ඉපිද වර්ෂ 2006 ඔක්තෝම්බර් 12 දින ලියුකේමියා රෝගය හේතුවෙන් මිය යන තුරුම ශුද්ධවත් ජීවිතයක් ගත කළ භාග්‍යවන්ත කාර්ලෝ ඇකියුටිස් මුනිතුමා පිළිබඳ සාන්තුවරයන්ගේ හේතූන් පිළිබඳව විමසා බලන වෛද්‍ය සභාව විසින් ධනාත්මක ප්‍රකාශයක් නිකුත් කර තිබේ. එනම් එතුමන්ගේ මැදිහත්වීමෙන් සිදුවන ලදැයි සැලකෙන බ්‍රසීලයේ විසූ රෝගී දරුවෙකුගේ සුවපත්වීම හේතුකොටගෙනයි. ඔහු 2018 දී වන්දනීය ධූරය ප්‍රකාශයට පත් කර ඇත. අද අගෝස්තු මස 10 වන දින ඉතාලියේ දී ඔහු භාග්‍යවරයට එසවීමට ශු. සභා මූලිකයින් තීරණය කර ඇත.

වර්ෂ 1991 දී ඉපිද වර්ෂ 2006 දක්වා එතුමාගේ කෙටි ජීවත කාලය තුළ එතුමා ගත කළ ශුද්ධත්වන්ත ජීවිතය පිළිබඳ කරුණු කිහිපයක් මෙසේ සටහන් කරමි.

වයස අවුරුදු 7 දී ඔහුගේ පළමුවරට දිව්‍ය සත්ප්‍රසාද සක්‍රමේන්තුව ලැබුණු දින සිට, ඔහු කිසි දිනෙක ඉරුදින ශුද්ධ වූ දිව්‍ය පූජාව අතපසු කළේ නැත. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ හා මරියෝත්තමාවන් එතුමන්ගේ විශ්වාසවන්තයන් වූ අතර සෑම දිනකම ශුද්ධ වූ ජපමාලය උච්චාරණය කිරීමෙන් ඇයට ගෞරව කිරීමට ඔහු සමත් විය. කා‍ර්ලෝගේ නවීන හා යාවත්කාලීන ක්‍රම ඔහුගේ ගැඹුරු සත්ප්‍රසාදය හා මරියභක්තිය සමඟ පරිපූර්ණව ඒකාබද්ධ වූ අතර, එය සෑම කෙනෙකුම අගය කරන හා ආදරය කරන සුවිශේෂී පිරිමි ළමයෙකු බවට පත් කිරීමට උපකාරී විය.

කාර්ලෝගේම වචනවලට අනුව ඔහු මෙලෙස සටහන් කර ඇත; “අපගේ ඉලක්කය විය යුත්තේ අනන්තය මිස තාවකාලික ලෝකය නොවේ. අනන්තය අපේ නිජබිමයි. අප සැමවිටම ස්වර්ගීක බලාපොරොත්තුව විය යුතුය”. ඔහුගේ තවත් ප්‍රසිද්ධ ප්‍රකාශයක් වූයේ, “සියලු මිනිසුන් උපත ලැබුවේ මුල් පිටපත් ලෙසයි. මෙම ඉලක්කය කරා ගමන් කිරීමට සහ ඡායා පිටපත් ලෙස මිය නොයාමටයි”.

කාර්ලෝ පැවසුවේ අපගේ මාලිමා යන්ත්‍රය දේව වචනය විය යුතු බවත්, අප නිරන්තරයෙන් දිශාව මැනිය යුතු බවත් ය. එසේම එවැනි උසස් ඉලක්කයක් කරා ළඟා වීමට විශේෂ පියවර අවශ්‍යය වන බවත් , සක්‍රමේන්තු හා යාච්ඥ ඒ පියවර බවත් ය. විශේෂයෙන් කාර්ලෝ, සත්ප්‍රසාදය පිළිබඳ සක්‍රමේන්තුව ඔහුගේ ජීවිතයේ කේන්ද්‍රයේ ලෙස සැලකූ අතර ඔහු එය හැඳින්වූයේ “ස්වර්ගයට යන මගේ මහා මාර්ගය” ලෙසයි.

කාර්ලෝට පරිගණක ලෝකයට සම්බන්ධ සෑම දෙයකටම ඉතා ත්‍යාගශීලී වූ අතර ඔහුගේ මිතුරන් හා පරිගණක ඉංජිනේරු උපාධි ඇති වැඩිහිටියන් සෑමදෙනාම ඔහු ඉතා දක්ෂයෙකු ලෙස සැලකූහ. සාමාන්‍යයෙන් විශේෂිත විශ්ව විද්‍යාල උපාධි ලබා ඇති අයට පමණක් ප්‍රවේශ විය හැකි පරිගණකවල රහස් තේරුම් ගැනීමට ඔහුට ඇති හැකියාව ගැන සියලු දෙනා මවිතයට පත් වූහ. කාර්ලෝගේ අභිලාෂයන් අතර පරිගණක වැඩසටහන්කරණය, චිත්‍රපට සංස්කරණය කිරීම, වෙබ් අඩවි නිර්මාණය කිරීම, ප්‍රකාශන සංස්කරණය කිරීම, අවශ්‍යතා ඇති අයට විශේෂයෙන් ළමයින්ට සහ වැඩිහිටියන්ට උපකාර කිරීම ඇතුළත් වේ.

මිලාන් රදගුරු පදවියේ මෙම තරුණ ඇදහිලිවන්තයා ඔහු මිය යාමට පෙර පාප්තුමා සහ සභාව වෙනුවෙන් සිය දුක් වේදනා ඔප්පු කිරීමට සමත් විය. “සැමවිටම ජේසුස් වහන්සේ සමඟ එක්සත්ව සිටීමට නම් මෙය මගේ ජීවන සැලැස්මයි” යනුවෙන් පවසමින් ඔහු තම වේදනාවන් සියල්ල දරාගෙන ඇත. වරෙක කාර්ලෝ ඇකියුටිස් පැවසුවේ ඔහුගේ කෙටි ජීවිතයේ සුවිශේෂී ලක්ෂණය නම් ජේසුස් වහන්සේ සමඟ ජේසුස් වහන්සේ වෙනුවෙන් ජේසුස් වහන්සේ තුළ ජීවත් වීම බවයි. ඔහුගේම වචන වලින් “මම විනාඩියක්වත් නාස්ති නොකර මගේ ජීවිතය ගත කළ නිසා මිය යෑමට සතුටුයි” යනුවෙන් ද පවසා ඇත. ඔහු අපෙන් ඒ දේම අසයි, අපගේ ජීවිත තුළින් ශුභාරංචිය පතුරවන්නැයි ඔහු අපෙන් ඉල්ලා සිටී. එවිට අප සෑම කෙනෙකුම අන් අයගේ ගමන ආලෝකමත් කිරීමට ආලෝකයක් විය හැකිය.

සුදු සබයට නව භාග්‍යවන්තයෙක් එක්වන අද දින එතුමාන්ගේ මධ්‍යස්ථික පිහිට ඉල්ලනවා සේම නොබෝ දිනකදී එතුමන්ට සුදුවර වරම් ද පතමින් යදිමු.

– දිදුලනී තාරිකා.

දෙවන වසර, තාක්ෂණ පීඨය.