පාස්කුව කියන්නේ වසර 2000 කට පමණ පෙර ජේසුස් තුමගේ උත්ථානය සමග බිහිවූවක්ම නොවේ. එය පුරාණ ගිවිසුමේ එන ඊජිප්තුවේ වහල් බවින් එතෙර වීම සමග ඇරඹිනි. ඒ ඓතිහාසික සිදුවීම සිදුවූයේ ජුදා දින දර්ශනය අනුව ඔවුන්ගේ දින දර්ශනයේ පළමු මාසය වන නිසාන් මාසයේදීය. ඒ ගැන ශුද්ධ බයිබලයේ මෙසේ ලියා ඇත. “මේ මාසය සියලු මාස වලට පළමු මාසය විය යුතුය…. මෙය සදහටම ශුද්ධ මංගල දිනයක් බවට ප්‍රකාශ කල යුතුය. මතු සියලු පරම්පරාවලට ද එය පැවැත්වීමට නියම කල යුතුයි.” යනුයි. එලෙස පුරාණ පාස්කුව ඔවුන්ගේ දිනදර්ශනයේ පළමු මාසයේ 14 වනදා සමරණු ලැබේ. මෙහිදී අප මතක තබා ගතයුතු තවත් කරුණක් ඇත. එනම් ජුදාහී සබත් දිනය ඉරිදා නොව සෙනසුරදා වන බවයි. ඒ ගැනත් බයිබලයේ අපට තහවුරු වන තැන් රාශියක් ඇති අතර ඉන් එකක් වනුයේ ජේසුතුමගේ උත්ථානය පිළිබඳව සටහන් කිරීමේ දී “සතියේ පළමුවනදා හිමිදිරියේ” යනුවෙන් ඇරඹීමත් සමගයි.
පුරාතනයේ දී අද මෙන් කාලය මැනීමට ඔරලෝසු නොතිබිණි. බොහොම පුරාණ ශිෂ්ටාචාර කාලය නිර්ණය කලේ ආකාශ වස්තුන් උපයෝගී කරගෙනය. ඒ අනුව ශ්‍රී ලංකාවේ පෝය දින දර්ශනය මෙන් ජුදා දින දර්ශනයද පුරසද කේන්ද්‍ර කරගෙන ගොඩනැගුණු අතර සෑම මාසයක්ම දින 28 කින් සමන්විත වු අතර මාස 12 කින් යුක්ත විය. එබැවින් වසරේ ආරම්භයට ඔවුන්ට නිශ්චිත දිනයක් නැති අතර දින 28 ක මාස 12 ක් සම්පූර්ණ වන දිනට නව වසරක් ඇරඹේ.
ඉතින් මේ හේතුව නිසාම ජුදා පාස්කු දිනය මාර්තු අග සතියේ සිට අප්‍රේල් අග සතිය දක්වා කාල පරාසය තුල විහිදිය හැකිය.
ශුද්ධ බයිබලයට අනුව ජේසුතුමගේ මරණය සිදුවූයේ ජුදා පාස්කුවට පෙර දින, මහා සිකුරාදාය. එතුමාගේ උත්ථානය සිදුවූයේ ජුදා පස්කු දිනයට පසු දින, එනම් ඉරිදා ය. මේ හේතුව නිසා කතෝලිකයන්ගේ පාස්කුව ඉරිදා සමරණු ලබන අතර එයටද සම්මත කරන ලද නිශ්චිත දිනයක් නැත. එයද තීරණය වනුයේ අර පෙර කී ජුදා පාස්කුවට දින නියම වන ආකාරය අනුවය. ඒනිසාම කතෝලික පාස්කුවත් මාර්තු අග සතියේ සිට අප්‍රේල් අග සතිය දක්වා කාලය තුළ විහිදිය හැකිය. මෙය විවිධ වකවානුවල පාප්තුමන්ලා, ශුද්ධවු සභාවට බලපෑම් කල පිරිස් විසින් වෙනස් කර නිශ්චිත දිනයක් යෙදිමට අතීතයේ ප්‍රයත්න දැරුවද ඒවා මුළුමනින්ම අසාර්ථක වී පැවති ක්‍රමයට එම දිනයේ පූජනීයත්වය වඩාත් සුරකින බව ප්‍රත්‍යක්ෂ විය.
මෙමගින් බොහො දෙනෙකුට පැනයක් වී තිබු පාස්කු දිනය පිලිබඳ ගැටලුවට විසදුමක් ලැබුනායැයි මම සිතමි.
– නුවන් ප්‍රනාන්දු
0 Comments