BLANTERORBITv101

මරි මවුන්ගේ උපන් මංගල්‍යය…



කිතුනුවන් ලෙස, සැප්තැම්බර් 8වන දින අප විසින් සමරනු ලබන්නේ, මරියාවන්ගේ උපන් මංගල්‍යයයි. මෙම දිනය දෙයාකාරයකින් අපට සලකා බැලිය හැකිය. එක් ආකාරයක්, මෙම දිනය හා බැඳුණු තාර්කික පදනම, අනෙක, මෙම දිනය හා බැඳුණු අධ්‍යාත්මික පදනම.

මෙම දිනය, එනම් සැප්තැම්බර් 8 යනු, නිසැකවම, දෙසැම්බර් 8වන දින එනම් මරි මවුන්ගේ නිර්මල පිළිසිඳීමේ මංගල දිනයේ සිට නව මසකට පසු එළඹෙන දිනයයි.

මේ දිනයේ පවත්නා ශුද්ධවන්තභාවය පිළිබඳ සලකා බලන්නේ නම්, මෙදින සිදුවූ මරි මවුන්ගේ උත්පත්තිය අප ජේසු සමිදරුවාණන්ගේ උත්පත්තියට මාර්ගය විවර කර දුන්නා.

මෙහිදී කිව යුතු විශේෂ කරුණක් වන්නේ, කිතුණුවන් සමරනු ලබන්නේ, සාන්තුවරුන්ගේ ස්වර්ගස්ථ වීමයි. මන්ද, ඔවුන් ස්වර්ග රාජ්‍යයට ඇතුළු වීම අපගේ සැමරීමට භාජනයවන නිසාවෙනි. එහෙයින්, උත්පත්ති මංගල්‍යයක් සමරනුයේ නම්, ඒ තිදෙනෙකුගේ පමණි. එනම්, අප දයාබර මරියෝත්තමාවන්, ජේසු සමිඳාණන් හා ස්නාවක ජොහාන් තුමන්ය. මන්දයත්, එතුමන්ලාගේ උපත සිදු වූයේ ජන්ම පාපයෙන් නිර්දොශවය.

කෙසේ වෙතත්, විවිධ කාරනා පදනම් කරගෙන, කිතුණුවන් විවිධ ප්‍රදේශයන්ට බේදී සිටියද, අප විසින් අපගේ කිතුණු එකමුතුකම හා සහයෝගීතාවය රැක ගත යුතුය.

එනමුත්, වර්තමානයේ අප දකින්නේම, මෙකී එකමුතුකම හා සහයෝගීත්වය දූෂ්‍ය කරන සිද්ධාන්තයන්මය. මරියාවන් තුළ තිබූ ශුද්ධත්ම ඵල හා ශුද්ධත්ම දීමනා, වර්තමාන අප කෙරෙන් ඈතින් ඈතට යමින් තිබේ.

නිර්මලත්වය, පාරිශුද්ධත්වය, නිහතමානී දිවි පැවැත්ම යන්න හුදු වචනවලට පමණක් සීමා වී ඇත. මාන්නයෙන් උදම් වී තමන්ට අවැසි ලෙස දේව මැවිල්ල හසුරුවා, අවසන් ප්‍රතිඵලය දැක, ඊට දෙවිඳුන්ට බැණ වදින්නා වූ සමාජ ක්‍රමයක වෙසෙන අප හට පැවරෙනුයේ ඉතා භාරදූර කාර්යයකි.

අපගේ හැසිරීමෙන් හා අපගේ සිතුම් පැතුම් වලින්, අප විසින් සමාජයට ගෙන යා යුතු පණිවිඩය වන්නේත්, පාරිශුද්ධත්වයේත්, නිර්මලත්වයේත් පිරිපුන් දිවියක වැදගත්කමයි.

ඔබ, සැබෑ කිතුනුවෙකු ලෙස, ඔබ කෙරෙහි වන මෙම කැඳවීමට හිස නමන්නේ නම්, සෙසු සමාජයත් ඔබ දෙස බලා වෙනස් වේවි.

එනයින්, අප හට ජේසු සමිඳුන්ගේ එඬේරික දූත කාර්යයේ පංගුකාරයන් වීමට ඉඩ හසර විවර වේ.

සිතන්න! ක්‍රියාවට නංවන්න!
මේ සඳහා අවැසි බලය, වරප්‍රසාදය, විශේෂාකාරයෙන්, විසිරුණු දනෝ එකතු කිරීම උදෙසා දෙව් මවුන්ගේ නිර්මල මැදිහත්කම පතා, මේ ආශිර්වාදිත දිනයේදී අපි යාච්ඤා කරමු….

සාජිනී කෞශල්‍යා- දෙවන වසර- කළමනාකරණ හා මූල්‍ය පීඨය.