BLANTERORBITv101

සුරදූතවරුන් හා නිරාදූතයන් | Angels and Demons

🧚🏾‍♂️ යහපත් සහ අයහපත් යන දෙආකාරයෙන්ම දේවදූතයන් පවතින බව කතෝලික සභාව අපට තරයේ උගන්වනු ලබයි. මෙයට ප්‍රධානතම හේතුව වන්නේ එය ශුද්ධ ලියවිල්ල තුළින් උන්වහන්සේ අපට අනාවරණය කර තිබීමයි. සුරදූතයන් හා නිරාදූතයන් පවතින බවට ප්‍රධාන වශයෙන්ම අපට සාක්ෂි සපයන්නේ " සූක්ෂ්ම කය අත්දැකීම ( Out of body experience ) වේ නමුත් අපගේ විශ්වාසයට අනුව සුරදූතයන්ගේ පැවැත්ම මෙම අත්දැකීම මත පදනම්වීමක් හෝ ඉන් එය නිශ්චයවීමක් සිදුනොකෙරේ ඒ මන්ද , මේ සියල්ලම දිව්‍යමය එළිදරව්වට සාක්ෂි සපයන බැවින් එය ඇදහිල්ල මත පමණක් පදනම් වී ඇත.


🧚🏾‍♂️ සැබවින්ම , දෙවියන් වහන්සේ සුරදූතයන් හා නිරාදූතයන් පිළිබඳ යථාර්ථය අපට හෙළිකර ඇත. ඒ තුළින් උන්වහන්සේගේ පුදුමාකාර ශ්‍රී විභූතිය හා උන්වහන්සේගේ ආලෝකමත් බලපරාක්‍රමය අපට හෙළිකොට දක්වයි එනම් , දෙවියන් වහන්සේගේ මාර්ගයන් හා අධ්‍යාත්මික ජීවිතයේ මාර්ග අවබෝධ කරගැනීමට අපට සුරදූතයන් පිළිබඳව දැනගැනීම ඉතාමත් අත්‍යාවශ්‍යය වේ.


🧚🏾‍♂️ ශුද්ධ වූ තෝමස් ඇක්වයිනාස් තුමා , කතෝලික සභාවේ දේව දූත ආචාර්‍යයවරයා ( Angelic Doctor ) ලෙස හඳුන්වනු ලබයි , ඒ උන්වහන්සේ සුරදූතයන් හා නිරාදූතයන් පිළිබඳව ගැඹුරු හා පුළුල් දේවානාවරණයන් ලිඛිතාකාරයෙන් සභාවට හෙළිකර හෙයිනි , ඒ සඳහා දෙවියන් වහන්සේ , එතුමාව අවියක් ලෙස භාවිතා කළබව උගහට කරුණකි. 


🧚🏾‍♂️ එසේ නම් දේවදූතයන් යනූ කවුරුන් ද ??  සැබවින්ම දේවදූතයන් යනූ , පවිත්‍ර ආත්මයක් සහිත ජීවයක් හෝ භාවාර්ථීය ප්‍රාණීයෙකි ( Substance ). දේවදූතයන්ට බුද්ධියක් හා නිදහස් කැමැත්තක් ඇති බැවින් ප්‍රේමය හා දැනුම වටා ඔවුන්ගේ ජීවය ගෙවීයයි නමුත් ඔවුන් හට ශරීරයක්  හෝ අන්තර්ගත ජීවන රටාවක් නොමැත. සෑම සුරදූතයෙක්ම ආවශ්‍යයෙන්ම සවිඥානික කේන්ද්‍රස්ථානයකි නමුත් අප එය තේරුම්ගත යුත්තේ , මිනිස්සුන්ට වඩා දේවදූතයන් බොහෝ සෙයින් වෙනස් ලෙසයි එනම්, ඔවුන් සවිඥානික බැවින් , ඔවුන් හට රසය, සුවඳ, ස්පර්ශය, ඇසීම, සංකල්පන හැකියාව හෝ ආවර්ජනා කිරීමේ හැකියාවන් නැත , එබැවින් ඔවුන්ට ඉන්ද්‍රීය ආශාවන් නොමැත , මන්දයත් ඔවුන් මේ සියලුම ක්‍රියාකාරකම් හා ආශාවන් භෞතීක අවයවීය ක්‍රියාවන් වන අතර දේවදූතයන්ට භෞතික අවයව නොමැති බැවින් ඔවුන් මේවා සඳහා සංවේදී නොවේ , එනම් , ඔවුන් කෑම කන්නේ නැත , නිදාගන්නේ නැත , සිනාසෙන්නේ නැත , විවාහා වන්නේ නැත , දරුවන් බිහි කරන්නේ ද නැත. 


🧚🏾‍♂️ අප දැක ඇති රූප හා කලාත්මක සංකල්පිත මෙන් ඔවුන්ට පියාපත් දෙකක් ඇති කුඩා දරුවන්ගේ රූපයන් වලට හාත්පසින්ම වෙනස් ආකාරකයට දෙවියන් වහන්සේ ඔවුන් මවා ඇත , එනම් , දෙවියන් වහන්සේ එම සුරදූතයන් සියල්ලක්ම පාහේ මවා කර ඇත්තේ උන්වහන්සේගේ විශේෂිත හා සම්පූර්ණයෙන්ම අද්විතීය ජීවියෙකු ලෙසයි , එපමණක් නොව , අපගේ භෞතික තත්ත්වයන් අභිබවා යන ලෙස ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය තුළ දෙවියන් වහන්සේ මඟින් ප්‍රේම කිරීමටත් , ප්‍රීති වීමේ බලයත් ඔවුන්ට ඇත. මනුෂ්‍යයන් ලෙස අප මේ සියල්ල කරන්නේ භෞතික පරිසරයේ ජෛවගොලයටත් යටත් වෙමින් වුවත් දේවදූතයන් පවතින්නේ භෞතික පරිසරෙන් ඔබ්බට ගොස් කාලය , අවකාශය හෝ පදාර්ථය යන සීමාවන් කිසිවෙකටත් අයිති නොවූ අධිතාත්වික මානය තුළයි. 


🧚🏾‍♂️ දේවදූතයන් යම් පුද්ගලයන් වටා ක්‍රියාකරමින් ඔවුන්ගේ ජීවිතයට බලපෑම් කරන බව ශුද්ධ ලියවිල්ල මනාවට කරුණු දක්වයි. 


"මෙසේ උන් වහන්සේ, මිනිසා පලවා හැර, ඒදන් උයනට පෙරදිගින්, කෙරුබ්වරුන් තැබූ සේක. තවද, ජීවන වෘක්ෂයට යන මාර්ගය රැකවල් කරනු පිණිස සෑම අතට කරකැවෙන, ගිනි විහිදුවන කඩුවක් ද තැබූ සේක."

                                              ( උත්පත්ති 3:24 ) 


"තවද, ඔහු ඒදොම් දේශයේ සේයිර් රටේ තම සොහොයුරු වන ඒසව් වෙත තමාට පෙරටුවෙන් දූතයන් යැවී ය."

                                                ( උත්පත්ති 32:3 ) 


"එකල දේව දූතයෙක් ස්වර්ගයෙන් පහළ වී, උන් වහන්සේ ශක්තිමත් කෙළේ ය."

                                                 ( ශු.ලූක් 22:43 ) 


ඉහත ශුද්ධ ලියවිලි පාඨයන්ට අනුව ,  පැහැදිලි වන්නේ , සුරදූතවරුන් විසින් දෙවියන් වහන්සේ විසින් ඔවුනට පවරා ඇති දූත මෙහෙවර ඔවුනොවුන් විසින් ඉටු කරමින් සිටින බවයි. ↑↑↑↑↑


🧚🏾‍♂️ දේවදූතයන්ට ශරීරයක් නොමැති නම් ඔවුන් යම් ස්ථානයක පවතින්නේ කෙසේද ?? එබැවින්,  ශුද්ධ වූ ඇක්වයිනස් තුමා මෙයට ඍජුවම පිළිතුරු සපයයි , එනම් , යම් පදාර්ථයක් යම් නිශ්චිත ස්ථානයක ආකාර දෙකකින් පැවතික හැකි බවයි , 


〽️ පදාර්ථය එම ස්ථානයේ ඍජුවම ස්වකැමැත්තෙන්ම පැවතීම ( Being contained in a place )


උදා :- කෝප්පයක් මේසයක් මත එසේම තිබීම. 


〽️ යම්කිසි දෙයක් එම ස්ථානයට බලපෑම් කරමින්  වෙනත් ආකාරයකින් එම ස්ථානයේ පැවතීම ( A thing can be in a place in another way by influencing that place ) 


උදා :- අපගේ දෙමාපියන් විසින් සමහර අවස්ථා වලදි නිවසේ විසීමට නීති රීති ස්ථාපිත කරයි , දෙමාපියන් නිවසේ නොසිටියත් අප ඒ නීති රීති අනුගමනය කරන්නේ , ඔවුන් භෞතික වශයෙන් එම ස්ථානයේ නොසිටියාත් , ඔවුන්ගේ අනුදැනුම මත ඔවුන් එම ස්ථානයට බලපැම් ඇති කර ඇති හෙයින් , එම නීති අනුගමනය කිරීමට අපව පොළඹවයි , 


එනම් ශුද්ධ ලියවිල්ලේ සඳහන් ආකාරයට දේවදූතයන් එම ස්ථානවල භෞතිකව නොසිටියාත් , ඔවුන් මඟින් එම පුද්ගලයන්ට බලපෑම් කරන බවයි. ↑↑↑↑↑


🧚🏾‍♂️ දේවදූතයන්ට වර්තමානයේදිත් අපට බලපෑම් කළ හැකිද ????? ශුද්ධ වූ ඇක්වයිනාස් තුමා පවසන ආකාරයට " හැකියි , එනම් , දේවදූතයන් හට ඔවුන්ගේ බුද්ධිමය ආලෝකය මිනිස් බුද්ධිය මත බලපෑම් කරමින් මිනිසාගේ ඥානික බලය වැඩි කළ හැක , එමෙන්ම , අතීතයේ මෙන් දිවැසිවරුන් හා අපෝස්තුළුවරුන් දේවාලෝකයෙන් මෙහෙයවීමට හා පෙළඹවීමට දේවදූතයන් හට බලය පැවතිණි,  වර්තමානයෙදිත් , අප රැකවල් දේවදූතවරුනට යාච්ඤා කරන්නේ ඒහෙයිනි. 


දිව්‍ය පූජාව අවස්ථාවේදී ද , දේවදූතයන් ශුද්ධ වූ අල්තාරය අවට ගැවසෙන බව ප්‍රසිද්ධ කරුණකි. එනම් , මිනිස්සුන්ව වඩාත් ගැඹුරු හා ධාර්මික යාච්ඤාශීලී තත්ත්වයකට ගෙනයාම සඳහා ඔවුන් අපට උපකාරී කරයි. 


🧚🏾‍♂️ දේවදූතයන් එකිනෙකා වචන හුවමාරුවෙන් කතා කරනවා ද ?? ශු. ඇක්වයිනාස් තුමා පවසන ආකාරයට මිනිසුන් මෙන් බාහිර වචන හෝ ලිඛිත මාධ්‍ය යොදාගනිමින් ඔවුන් සන්නිවේදනය නොකරයි මන්ද , බාහිර වචන පැමිණෙන්නේ ශරීරයෙනි , නමුත් සන්නිවේදනය යනූ බාහිර වචන භාවිතය පමණක්ම නොවේ , සන්නිවේදයේ මූලික හරය නම් , එක් පුද්ගලයෙකු තවත් පුද්ගලයෙකුගේ මනසේ ඇති අදහස් , දැනුම හෝ අරමුණු ප්‍රකාශ කිරීමයි, එසේ ගතහොත් , දේවදූතයන් සන්නිවේදනයේ යෙදේ , ඔවුන් තම අභිප්‍රායන් දෙවියන් වහන්සේ සමඟද බෙදා ගනී, ඔවුන්ගේ සන්නිවේදයේ ස්වරූපය නිශ්ශබ්දතාවයේ හා ප්‍රේමයේ පදනම මත පවතී. 


"මා මිනිසුන්ගේ ද දේව දූතයන්ගේ ද භාෂාවලින් කතා කරතත් ප්‍රේමය මට නැත්නම් මම ඝෝෂා කරන ඝණ්ඨාරයකට හෝ කටුක රාවය දෙන කෛතාලමකට හෝ සමාන වෙමි."

                                              ( 1 කොරින්ති 13:1 ) 

🧚🏾‍♂️ දෙවියන් වහන්සේ මුළු සුරදූත සමූහයා මවා වදාළේ සියල් යහපත් ලෙසිනි , නමුත් ඉන් සමහර සුරදූතයන් දෙවියන් වහන්සේව ප්‍රතික්ෂේප කළ අතර දෙවියන් වහන්සේන්විසින් ඔවුනට දුන් නිදහස් කැමැත්ත අවභාවිතා කරමින් ඔවුන්වහන්සේටම විරුද්ධව කැරලි ගැසූහ. මෙහෙයින් , උන් වහන්සේ ඔවුන්ව මෙම ලෝකයට පිටුවහල් කරන ලදී, මොවුන් නිරාදූතයන් (  Demons ) ලෙස හදුන්වන ලද අතර ඔවුන් ඔවුන්ගේ බලය දෙවියන් වහන්සේට විරුද්ධව ක්‍රියාකරවයි , ඔවුන් එසේ කරන්නේ සියලුම නිරාදූතයන් හා සමඟ බන්ධයක් ඇති කරගමිනි, එනම් එක් නිරාදූතයෙකු හා අනිකුත් නිරාදූතයන් අතර ඔවුන් එකිනෙකා බැදීසිටී. ප්‍රචණ්ඩත්වය, නපුර පාලනය හා යටත් කරගැනීම් වැනි දේශපාලනික , ඓතිහාසික ස්වාධිපත්‍යය කරා මොවුන් මිනිසුන්ව මෙහෙයවයි. ලෝකයේ ඉතිහාසික කරුණු ඔස්සේ සොයාබලන විට සැබවින්ම මේවා යක්ෂයා විසින් පොළඹවා ඇති බවය සැකයකින් තොරවම ප්‍රකාශ කළ හැකිය. ශුද්ධ වූ තෝමස් ඇක්වයිනාස් තුමා පවසන පරිදි , නිරාදූතයන් මිනිසුන්ව පව් කිරීමට පොළඹවන අතර දෙවියන් වහන්සේට විරුද්ධව කැරලි ගැසීමට ද , පළමු පණතට එරෙහි වන පාපයන් වැඩි වශයෙන් කිරීමට ජනතාව පොළඹවන බවයි. ඔවුන්ගේ ඒකායන අරමුණ ලෙස එතුමා සඳහම් කරන්නේ, මුළු මහත් සමාජයම ඔවුන්ගේ නිදහස් අවි ලෙස භාවිතා කිරීමයි.


" තවද ස්වර්ගයෙහි යුද්ධයක් විය. මිකායෙල් හා ඔහුගේ දූතයෝ මකරාට විරුද්ධ ව සටන් කළහ. මකරා ද තමාගේ දූතයන් පිරිවරා සටන් කොට පරාජය විය. ඔවුන්ට ස්වර්ගයෙහි තැනක් තවත් නො වී ය. මහා මකරා පලවා හරින ලදී. ඔහු නම් මුළු ලොව රැවටූ යක්ෂයා හෙවත් සාතන් යයි නම් ලත්, ආදි සර්පයා ය. ඔහු සමඟ ඔහුගේ දූතයෝ ද පොළොවට හෙළනු ලැබුවෝ ය. "

                                         (එළිදරව්ව 12:7‭-‬9 ) 

🧚🏾‍♂️ ජේසුස් වහන්සේ ලෝකයට පැමිණීමට ප්‍රධානතම හේතුව , මෙම යක්ෂ බන්ධයන් බිඳ දමා පාපයෙන් අප ගළවා , දෙවියන් වහන්සේගේ යුක්තිය , සත්‍යය හා ප්‍රේමය මත පදනම්ව සියලු මැවිල්ල යහපත් ආකාරයට , නිදහසේ හා සාමයේ අවියක් ලෙස ලෝකය වෙනස් කිරීමටයි. දෙවියන් වහන්සේ කෙතරම් යහපත් ද කිවහොත් පාපය ගැන පසුතැවිලි වී පාපොච්චාරණ කර ,  ඇදහිල්ල , බලාපොරොත්තුව හා ප්‍රේමයේ ජීවිතය තුළින් ස්වර්ගීක ජීවිතයේ ජයග්‍රහණය ලබාගැනීමට අපව මෙහෙයවයි. 


❤️🧚🏾‍♂️  අරුණෝදය එන විට     මා

           බෝ කලක් ඇළුම්     දැක් වූ

           සුර දූතික හැඟුම්      තුළින්

            මා පුරවාලන්න         සදා    🧚🏾‍♂️❤️

                      ( කිතු දන පුබුදු ගීතිකා අංක 294 ) 


                                        - ❦ ශවීන් මෙන්ඩිස් ❦ -