BLANTERORBITv101

පැරණි ගිවිසුම මගින් පෙරමග සැලසූ ස්වර්ගයේ රාජිණිය



කතෝලිකයන් මරිය තුමිය වෙත දක්වන මේ සියලු භක්තීන් බොහෝ කතෝලිකයන් නොවන අයට පෙනෙන්නේ ක්‍රිස්තුස්වහන්සේගේ දේවත්වය අඩු කරන  හා මරියතුමියව දේවත්වයෙන් ඇදහීමට කරණා පිළිවෙත් බවයි බවයි.  එවැනි විවේචන තුළදී මරියතුමියව ස්වර්ග රාජිණිය ලෙස හැදින්වීමට විශාල පහර එල්ල කරයි. සෑම කිතුනුවෙකුම පිළිගන්නා ලෙස ජේසුස් වහන්සේ රජවරුන්ගේ රජු ලෙස හැදින්වීම විශ්වීය සත්‍යතාවකි. සාමාන්‍ය රාජ්‍ය ව්‍යූහයන්හීදී රැජින ලෙස පත්වන්නේ රජුගේ බිරිදයි. නමුත්, මරිය තුමිය ජේසුස් වහන්සේගේ බිරිඳ නොව ඔහුගේ මව පමණක් බැවින් ඇය රැජිනක් වන්නේ කෙසේද? 

එක් බයිබලීය තේමාවක් මෙම ප්‍රශ්නවලට පිළිතුරු සපයන අතර එය මරිය තුමියගේ රැජින පිළිබඳ අභිරහස අගුළු හැරීම සඳහා යතුරක් ලෙස ක්‍රියා කරයි: එය දාවිත් රජගේ රාජධානියේ " රැජින" පිළිබඳ පැරණි ගිවිසුමේ සංකල්පයයි. 

දාවිත් රජුගේ රාජ්‍ය ව්‍යූහය තුළ මෙන්ම ආසන්න පෙරදිග අනෙකුත් පුරාණ රාජධානි තුළ, පාලක රජුගේ මව රාජ්‍ය මණ්ඩලයේ වැදගත් තනතුරක් දැරූ අතර රාජවංශයක අනුප්‍රාප්තික ක්‍රියාවලියේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළාය.  ඇත්ත වශයෙන්ම, රජුගේ මව රැජින ලෙස පාලනය කළා මිස ඔහුගේ බිරිඳ රැජින ලෙස පත් නොවීය. 

රැජිනක් රජුගේ භාර්යාව ලෙස සලකන අපගේ නූතන බටහිර දෘෂ්ටිකෝණයෙන් බලන විට, රජුගේ මවගේ ශ්‍රේෂ්ඨ ප්‍රමුඛත්වය අමුතු දෙයක් ලෙස පෙනෙයි.  කෙසේ වෙතත්, බොහෝ පැරණි නැගෙනහිර රාජධානිවල සිටි රජවරුන් බහු විවාහය සිදු කළ බව අමුතුවෙන් කිව යුතු දෙයක් නොවේ, එයට ශුද්ධ ලියවිල්ල තුළින්ම උදාහරණ සැපයේ.(සලමොන් රජුට භාර්යාවන් හත්සියයක් සිටීම (1 රාජාවලිය 11:3) - හත්සිය දෙනාටම රැජින පිරිනමන්නේ නම් රාජකීය මණ්ඩලය තුළ ඇති වියවුල් තත්ත්වය ගැන සිතන්න, නමුත් සෑම රජෙකුටම සිටියේ එක් මවක් පමණක් බැවින් ඇයට බිසව පිරිනැමීම ඔවුන් දුටුවේ වඩාත් ප්‍රායෝගික දෙයක් ලෙසයි. 

පැරණි ගිවිසුමේ පරිච්ඡේද ගණනාවක් දාවිත් රජුගේ රාජධානියේ රැජින වන මවගේ වැදගත් භූමිකාව පිළිබිඹු කරයි.  නිදසුනක් වශයෙන්, 1 සහ 2 රාජාවලිය හිදී ජුදාහි නව රාජාණ්ඩුවක් හඳුන්වා දෙන සෑම අවස්ථාවකම පාහේ, එම රජුගේ මව ගැන ද සඳහන් කරයි, එය තම පුත්‍රයාගේ පාලනයට මවගේ සමීප මැදිහත්වීම පෙන්නුම් කරයි.  ඒ හා සමානව, 2 රාජාවලිය 24:12 හිදී ජොහොයාකින් රජු, බබිලෝනියේ රජුට යටත් වූ රාජකීය මණ්ඩලයේ සාමාජිකයන් අතර රැජින වූ මවද ලැයිස්තුගත කර ඇත. 

රැජින ලෙස මවගේ භූමිකාව පිළිබඳ පැහැදිලිම උදාහරණය වන්නේ දාවිත් රජුගේ බිරිඳ සහ සලමොන් රජුගේ මව වන බැත්ෂෙබාගේ භූමිකාවයි. 

එබැවින් බැත්-ෂෙබා අදොනියා උදෙසා සලමොන් රජුට කතා කරන්නට ඔහු ළඟට ගිය විට, රජ තෙම ද ඈ හමු වීමට නැඟිට, ඈට ආචාර කර තම සිංහාසනය අරා හිඳගත්තේ ය. රජුගේ මවටත් ආසනයක් තබන්නට සැලැස්සුවේ ය. ඈ ඔහුගේ දකුණෙන් හිඳගත්තා ය. එවිට ඈ, “මම එක සුළු ඉල්ලීමක් ඔබෙන්‍ ඉල්ලමි. එය නොදී නොසිටිය මැනව”යි කී විට, රජ ද, “මාගේ මෑණියනි, ඉල්ලන්න. මම එය ඔබට නොදී සිටින්නේ නැතැ”යි ඈට කීවේ ය.[ 1 රාජාවලියේ 2:19‭-‬20 NRSV ] 

මෙම වාර්තාව රැජින ලෙස මවගේ විශේෂතාවයන් හෙළි කරයි.  ඇය ඇතුළු වන විට රජු නැඟිට හිස නමන ආකාරය, රජුගේ දකුණු පැත්තේ ඇති බැත්ෂෙබාගේ ආසනය ආදී කරුණු සුවිශේෂී  වැදගත්කමක් සහිත නිරූපණයන්‍ ය. ශුද්ධ බයිබලය තුළදී, දකුණු අත යනු විශේෂ ගෞරවයක් නිරූපණය කිරීමට යොදාගන්නා ස්ථානයකි.  මෙය විශේෂයෙන්ම මෙසියානික දිවැස් වැකියක් වන  ගීතාවලිය 110 හි දක්නට ලැබේ (“මා නුඹේ සතුරන් නුඹේ පා යට ලන තෙක් මාගේ දකුණු පස අසුන් ගන්නැ”).  ඇත්ත වශයෙන්ම, බොහෝ නව ගිවිසුමේ පරිච්ඡේදයන්හී ක්‍රිස්තුස් වහන්සේගේ දේවත්වය සහ මුළු විශ්වය පුරා පියාණන් වහන්සේ හා සමඟ ඔහුගේ පාලනය පෙන්වීමට ගීතාවලිය 110 හි දකුණු අත පෙන්වා දෙයි. (උදා. හෙබ්‍රෙව් 1:13) 

මේ අනුව, රජුගේ දකුණු අත වාඩි වී සිටින රැජින වූ මව, රජුගේ රාජකීය අධිකාරියේ හවුල් වීම සංකේතවත් කරන අතර රජුට පමණක් දෙවැනි වන රාජ්‍යයේ වැදගත්ම තනතුර ඇය දරන ආකාරය නිරූපණය කරයි. 

බත්ෂෙබා සම්බන්ධ මෙම පරිච්ඡේදයෙන්ද ‍රැජින රජුට ඉල්ලීම් රැගෙන ජනතාව වෙනුවෙන් පෙනී සිටින්නියක ලෙස කටයුතු කළ ආකාරය පෙන්නුම් කරයි. 1 රාජාවලිය 2:17 හි, අදෝනියා බැත්ෂෙබාගෙන් ඉල්ලා සිටින්නේ ඔහු වෙනුවෙන් සාලමොන් රජුට ඉල්ලීමල් ගෙන යන ලෙසයි. (ඔහු ද, “ෂුනම්මීය අබිෂග් නම් කාන්තාව මට බිරිඳ කොට දෙන ලෙස සලමොන් රජු හට කරුණාකර කතා කළ මැනව. රජ තෙම ඔබේ ඉල්ලීම ඉෂ්ට නොකර නොසිටින්නේ ය”යි කීවේ ය[ 1 රාජාවලියේ 2:17 ] ) 

රජු කෙරෙහි රැජිනගේ බලපෑම අදෝනියා හඳුනාගෙන ඇති බව පැහැදිලිය, එබැවින් ඔහු විශ්වාසයෙන් යුතුව ඔහුගේ ඉල්ලීම සඳහා මැදිහත්කරුවෙකු ලෙස බැත්ෂෙබා වෙත හැරේ. 

මෙම පැරණි ගිවිසුම් පසුබිම සමඟින්, නව ගිවිසුමේ මරිය තුමිය රැජින ලෙස ක්‍රියා කළ ආකාරය අපට දැන් වඩාත් පැහැදිලිව දැකගත හැකිය. 

මතෙව් ශුභාරංචිය බොහෝ විට "දේවරාජ්‍යයේ ශුභාරංචිය" ලෙස හැඳින්වේ. මෙම සුභාරංචියේ ප්‍රධාන අරමුණක් ලෙස, “ස්වර්ග රාජ්‍යය” පිහිටුවන, යුදෙව්වන්ගේ සැබෑ රජු වන ජේසුස් වහන්සේ “දාවිත්ගේ පුත්‍රයා” බව සුභාරංචි කතෲ වූ මතෙව් තුමා අවධාරණය කරයි. 

යෙසායා 7:14  හි පුරෝකථනය කර ඇති පරිදි ළදරු ජේසුස් වහන්සේ “එම්මානුවෙල්” වන්නේ කෙසේදැයි මතෙව් තුමා පැහැදිලිවම පෙන්වයි. මෙම අනාවැකිය තුළදී මෙසියස් වහන්සේව ඔහුගේ මව වන රැජින සමඟ පැහැදිලි සම්බන්ධයක් ගොඩනගයි.  තවද, මතෙව් තුමන් විසින් පළමු පරිච්ඡේද දෙකෙහි "දරුවා සහ ඔහුගේ මව" යන වාක්‍ය ඛණ්ඩය පස් වතාවක් භාවිතා කරමින් මව සහ ඇගේ රාජකීය පුත්‍රයා අතර ඇති සමීප සබඳතාව ඉස්මතු කරයි, පැරණි ගිවිසුම තුළ විස්තර කර ඇති පරිදි රැජින වන මව සහ රාජකීය පුත්‍රයා අතර සමීප සම්බන්ධතාවයද මතෙව් සුභාරංචිය තුළ සිහිපත් කරයි.  1 හා 2 රාජාවලිය තුළ රජු හා රැජින නිරතුරුව සඳහන් කර ඇති ආකාරයටම, මතෙව් තුමන්ගේ වාර්ථාව තුළදීද  මරිය තුමියවද ජේසුස් වහන්සේ සමඟ නිතර සඳහන් වේ (මතෙව් 1:18; 2:11, 13, 14, 20  , 21). 

ලූක් ශුභාරංචිය තුළද, විශේෂයෙන්ම ගාබ්‍රියෙල් දේවදූතයා ජේසුස් වහන්සේගේ  උපත පිළිබඳව දැනුම් දුන් අවස්ථාවේදීද  දාවිත්ගේ රාජ්‍ය ව්‍යූහය සම්බන්ධ කරමින් මරිය තුමියව නිරූපණය කර ඇති බව අපට පෙනේ.  

පළමුව, 

"දාවිත් රජ පරපුරෙන් පැවත එන ජෝසෙප් නම් මනුෂ්‍යයෙකු හට විවාහ ගිවිසුම් දී සිටි කන්‍යාවක වෙත යවන ලදී. ඒ කන්‍යාවගේ නම මරියා ය"[ ශුද්ධවර ලූක් 1:27 ] 

තවද, 

“උන් වහන්සේ ශ්‍රේෂ්ඨ වන සේක, පරමෝත්තමයාණන්ගේ පුත්‍රයාණෝ යයි කියනු ලබන සේක; උන් වහන්සේගේ පිය වූ දාවිත්ගේ සිංහාසනය දෙවි ස්වාමීන් වහන්සේ උන් වහන්සේට ප්‍රදානය කරන සේක; උන් වහන්සේ ජාකොබ්ගේ වංශය කෙරෙහි සදහට ම රජකම් කරන සේක; උන් වහන්සේගේ රාජ්‍යය කෙළවරක් නොදක්නේ ය”යි කී ය.[ ශුද්ධවර ලූක් 1:32‭-‬33 ] 

ඉහත පැහැදිලි කිරීම් මගින් පැරණි ගිවිසුමේ රැජින යන සම්ප්‍රදාය තුළින් මරිය තුමියගේ රාජකීය නිලය අවබෝධ කර ගැනීම සඳහා වැදගත් පසුබිමක් ලෙස ක්‍රියා කරන ආකාරය අපි දැක ඇත්තෙමු.  ඇත්ත වශයෙන්ම නව ගිවිසුම තුළදී මරිය තුමියව රැජින ලෙස නිරූපණය කරයි.  මේ අනුව, යාච්ඤාවන්, ගීතිකා සහ චිත්‍ර මරිය තුමියට ගෞරව කිරීම සදහා කිතුනුවන්ට වඩාත් ගැලපෙන බයිබලානුකුල භක්තීන් ය.  රැජින ලෙස ඇයට ගෞරව කිරීමේදී අපි ක්‍රිස්තුස් වහන්සේගේ මහිමයෙන් කිසිවක් ඉවත් නොකරමු, නමුත් අපි ඔහුව තවත් උසස් කරන්නේ ඔහු ඇය තුළ සහ ඇය තුළින් කර ඇති විශිෂ්ට ක්‍රියාව හඳුනා ගැනීමෙනි. 

මරිය තුමිය රැජින ලෙස වටහා ගැනීම කිතුනු ජීවිතය තුළ ඇයගේ වැදගත් මැදිහත්වීමේ භූමිකාව විදහාපායි. දාවිත්ගේ රාජ්‍යයේ රැජින වූ මව මෙන් මරිය තුමිය අද දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ මිනිසුන් වෙනුවෙන් පෙනී සිටින්නියක් ලෙස සේවය කරයි.  මේ අනුව, අපගේ රැජින අපගේ ඉල්ලීම් ඇගේ රාජකීය පුත්‍රයා වෙත ගෙන යන බවත්, සලමොන් බැත්ෂෙබාට කළාක් මෙන් ඔහු ඇයට ප්‍රතිචාර දක්වන බවත් දැනගෙන, අපි විශ්වාසයෙන් යුතුව අපගේ රැජින වෙත ළඟා විය යුතුය.